ගිවිසුම් සහ අවබෝධතා ගිවිසුම් පසු විපරම් කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය ඩිජිටල් වේදිකාවක් හඳුන්වා දෙයි

ගිවිසුම් සහ අවබෝධතා ගිවිසුම් පසු විපරම් කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය ඩිජිටල් වේදිකාවක් හඳුන්වා දෙයි

අන්තර් අමාත්‍යංශ පාර්ශ්වකරුවන් සමඟ දැනට ක්‍රියාත්මක සහ ඉදිරියට ක්‍රියාත්මක කිරීමට නියමිත ද්විපාර්ශ්වික මෙන්ම බහුපාර්ශ්වික ගිවිසුම්, ගිවිසුම් සහ අවබෝධතා ගිවිසුම් සම්බන්ධීකරණය කිරීම සහ පසු විපරම් කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යංශය විසින් ඩිජිටල් වේදිකාවක් හඳුන්වා දෙන ලදී. විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා සහ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා විසින් මෙම නව්‍ය ඩිජිටල් පසු විපරම් යාන්ත්‍රණය 2023 අගෝස්තු 28 වැනි දින දියත් කරන ලදී.

ශ්‍රී ලංකාව සහ විදේශීය රාජ්‍යයන් අතර අත්සන් තබන ලද මෙම ජාත්‍යන්තර ගිවිසුම්, ගිවිසුම් සහ අවබෝධතා ගිවිසුම්වලට අදාළව දැඩි පසු විපරම් සිදු කිරීම, තත්කාලීන අධීක්ෂණය සහ පුළුල් කාර්ය සාධන ඇගයීම සහතික කිරීම මෙම යාන්ත්‍රණයේ අරමුණ වේ.

එකී සාධන පත්‍ර ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය පසු විපරම් කිරීම සඳහා වන කේන්ද්‍රස්ථාන වශයෙන් රේඛීය අමාත්‍යංශ 27ක් විසින් නම් කරන ලද ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම රැස්වීම සඳහා සහභාගී වූහ.

විදේශ කටයුතු අමාත්‍යංශයේ කාර්ය සාධන සමාලෝචන හා ක්‍රියාත්මක කිරීමේ අංශයේ අධ්‍යක්ෂ ජනරාල් අමීර් අජ්වාඩ් මහතා, මෙම පසු විපරම් යාන්ත්‍රණයේ ක්‍රමවේදයන් ඉස්මතු කරමින් අන්තර් අමාත්‍යංශ කේන්ද්‍රස්ථාන වෙත ඩිජිටල් වේදිකාව හඳුන්වා දුන්නේ ය.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2023 සැප්තැම්බර් 01වැනි දින

 

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close