කෝපි, තේ, කොකෝවා රුසියානු එක්ස්පෝ ප්‍රදර්ශනයේදී ඉහළ තේ සංස්කෘතියක් ඇති කිරීමට අවධානය යොමු වෙයි

කෝපි, තේ, කොකෝවා රුසියානු එක්ස්පෝ ප්‍රදර්ශනයේදී ඉහළ තේ සංස්කෘතියක් ඇති කිරීමට අවධානය යොමු වෙයි

ඉහළ තේ සංස්කෘතියක් ඇති කිරීම, තේ වෘත්තිකයින්ගේ සංවර්ධනය, රුසියාවේ තේ සඳහා ඇති ඉල්ලුම වැඩි දියුණු කිරීම, අරමුණු කර ගත් රුසියානු එක්ස්පෝ ප්‍රදර්ශනයක් ඉකුත් මාර්තු 11දා මොස්කව් හි මියුසික් මීඩියා ඩෝම් හිදී පැවැත්ව්ණ. දින තුනක් තිස්සේ පැවැති  මේ වසරේ “කෝපි, තේ, කොකෝවා රුසියානු එක්ස්පෝ -2021” ප්‍රදර්ශනයට  කෝපි, තේ සහ කොකෝවා සම්බන්ධ විශිෂ්ටතම සමාගම් 170 ක් එක් කර තිබිණි. එහිදී  'සිලෝන් තේ'ප්‍රදර්ශන කුටිය නිල වශයෙන් විවෘත කරන ලද්දේ, අමාත්‍ය උපදේශක මොහොමඩ් අනාස් මහතා, තෙවැනි ලේකම් (තේ ප්‍රවර්ධන) ටිෂාන් ද සිල්වා මහතා සහ ශ්‍රී ලංකා තානාපති කාර්යාල කාර්යය  මණ්ඩලය සමඟ රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය එම්. ඩී ළමාවංස මැතිතුමා විසිනි.

"කෝපි, තේ, කොකෝවා රුසියානු එක්ස්පෝ ප්‍රදර්ශනය" යනු වගාවෙහි පටන් කෝප්පය දක්වා වන නිෂ්පාදන දාමය තුළ, ප්‍රධානතම ක්ෂේත්‍ර වැඩසටහනකි. එමගින්, ප්‍රදර්ශනය, ව්‍යාපාරික පුහුණුව, අධ්‍යාපන වැඩසටහන්, බැරිස්ටා, රෝස්ටර් සහ තේ මාස්ටර් තරග සඳහා වෘත්තීමය කෝපි සහ තේ තරග ඉදිරිපත් කරයි. කෝපි තේ කොකෝවා රුසියානු එක්ස්පෝ ප්‍රදර්ශනය රුසියාවේ සහ අනෙකුත් පොදු රාජ්‍ය මණ්ඩලීය ස්වාධින රාජ්‍යයන්හි විශාලතම වෘත්තීය ඉසව්ව ලෙසින් සැලකිය හැකිය. එමගින්, එකම අවස්ථාවක එකම ස්ථානයකදී, රුසියාවේ සහ පොදු රාජ්‍ය මණ්ඩලීය ස්වාධින රාජ්‍යයන්හි වෘත්තිකයින් එකට එක් කෙරේ.

එක්ස්පෝ වාර්ෂික ජාතික සුදුසුකම් ශූරතාවයට අමතරව, රටේ වඩාත්ම ආකර්ෂණීය තේ ආශ්‍රිත ක්‍රියාකාරකම් වලින් එකක් වන රුසියාවේ තේ මාස්ටර් කුසලානය (TMC) මෙම එක්ස්පෝ ප්‍රදර්ශනය තුළ පැවැත්විණි.

මෙම වසරේ රුසියාවේ තේ මාස්ටර් කුසලානය සඳහා සාමාන්‍ය අනුග්‍රාහක තත්ත්වය ශ්‍රී ලංකා තේ මණ්ඩලයට හිමි විණි. රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තේ ප්‍රවර්ධන ඒකකය තේ සැකසීම සහ තේ රස බැලීම යන කාණ්ඩ යටතේ තේ මාස්ටර් කුසලාන තරගය සඳහා ඉදිරිපත් වීම පිණිස සිලෝන් තේ වගා කරන විවිධ ප්‍රදේශවලින් සාම්පල 15 කට වැඩි ප්‍රමාණයක් ඉදිරිපත් කිරීම මගින්, සිලොන් තේ සඳහා තිබිය යුතු සම්පූර්ණ අවශ්‍යතා සපුරාලීමට කටයුතු කර තිබේ. ත්‍යාග ප්‍රදානෝත්සවය සඳහා සංවිධායකවරයා විසින් ගරු තානාපතිවරයාට ආරාධනා කරන ලද අතර, එහිදී ඔහු විසින් සිලෝන් තේ සම්බන්ධයෙන් උත්සවය අමතන ලදී.

ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික ඇඳුම වන ඔසරියෙන් සැරසී සිටි රුසියානු තේ නිරූපණ ශිල්පිනියක විසින් අමුත්තන් වෙත උණුසුම් සිලෝන් තේ පිළිගන්වන ලදී.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
රුසියානු සමූහාණ්ඩුව

 

2021 අප්‍රේල් 20 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close