කොළඹ විශ්වවිද්‍යාලයේ පැවති 2021- වාර්ෂික ශාස්ත්‍රීය ප්‍රභාෂණයේ දී විදේශ අමාත්‍යවරයා සහයෝගිතාවයේ වැදගත්කම පිළිබඳව අවධාරණය කරයි

කොළඹ විශ්වවිද්‍යාලයේ පැවති 2021- වාර්ෂික ශාස්ත්‍රීය ප්‍රභාෂණයේ දී විදේශ අමාත්‍යවරයා සහයෝගිතාවයේ වැදගත්කම පිළිබඳව අවධාරණය කරයි

නොවැම්බර් 23 වැනි දින කොළඹ විශ්වවිද්‍යාලයේ පැවති 2021- වාර්ෂික ශාස්ත්‍රීය ප්‍රභාෂණයේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා සහභාගි විය.

මෙම ශාස්ත්‍රීය ප්‍රභාෂණය ඔස්සේ විෂය ක්ෂේත්‍ර ගණනාවක් නියෝජනය කරන කීර්තිමත් විද්වතුන් රැසක් එකම වේදිකාවකට ගෙන එනු ලැබූ අතර, එමගින් ‘අන්තර්ක්ෂේත්‍ර අධ්‍යයන ප්‍රවේශයක් ඔස්සේ අපක්ෂපාතී පර්යේෂණවල නිරත වීම’ නමැති 2021 වර්ෂය සඳහා වූ තේමාව ඉස්මතු කෙරිණි.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ වැඩ බලන ඉන්දියානු මහ කොමසාරිස්, විනෝද් කේ. ජේකොබ් මැතිතුමා සහ විශ්වවිද්‍යාලයේ පීඨවල කැපී පෙනෙන විද්වත්හු සහභාගී වූහ.

මෙම ශාස්ත්‍රීය ප්‍රභාෂණයේ වැදගත්කම අවධාරණය කරමින් සමාරම්භක පූර්ණ සැසිය ඇමතූ අමාත්‍යවරයා, ප්‍රභාෂණයේ ප්‍රධාන අංශ දෙකක් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළේ ය: එනම්, අන්තර්ක්ෂේත්‍ර අධ්‍යයන ප්‍රවේශයේ පවත්නා පුළුල් සන්දර්භය තුළ බලපෑමක් එල්ල කළ හැකි පර්යේෂණ සිදු කිරීම සහ ඊට අනුගමනය කරන ලද ක්‍රමවේදයන් යන අංශ වේ.

කොළඹ විශ්වවිද්‍යාලයේ කාර්යභාරය පිළිබඳව විස්තර කළ විදේශ අමාත්‍යවරයා, නන් විධ ප්‍රජාවන් අතර අන්තර් ක්‍රියාකාරිත්වය වර්ධනය කිරීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලය තුළ පවත්නා වැදගත්කම පිළිබඳව අවධාරණය කළ අතර, එම ක්ෂේත්‍ර ඔස්සේ විශ්වවිද්‍යාලයට නොයෙකුත් කටයුතු සිදු කළ හැකි බවත්, විශේෂයෙන්ම උපාධි අපේක්ෂකයින්ට පමණක් නොව, අගනුවර කේන්ද්‍ර කොටගත් මෙම විශ්වවිද්‍යාලය විසින් පිරිනමනු ලබන ප්‍රවීණත්වයෙන් ඉමහත් ප්‍රතිලාභ ලබන වෘත්තිකයන්ට සහ ප්‍රජාවේ සාමාජිකයින්ට ඉගෙනුම් පාඨමාලා පිරිනැමීම සම්බන්ධයෙන් බොහෝ කර්තව්‍යයන් සිදු කළ හැකි බව සඳහන් කළේ ය.

විශේෂයෙන්ම කොවිඩ්-19 වසංගතය හමුවේ මෙරට මුහුණ පාන බොහෝ ගැටළු  සමඟ කටයුතු කිරීමේ දී, බහුවිධ පර්යේෂණවලින් ලැබෙන දැවැන්ත දායකත්වය සහ වැදගත්කම පිළිබඳව අමාත්‍ය  මහාචාර්ය පීරිස් මැතිතුමා අවධාරණය කළේ ය. මෙම අර්බුදකාරී වසංගත තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා බොහෝ පර්යේෂකයන්, ක්ෂුද්‍ර ජීව විද්‍යාඥයන් සහ විශේෂඥයින්ගේ ඒකාබද්ධ උත්සාහයන් අත්‍යවශ්‍ය විය. ඒ සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබා දුන් විශිෂ්ට දායකත්වය පිළිබඳව අමාත්‍යවරයා මෙහිදී විශේෂයෙන් සඳහන් කළේ ය.

මෑතකාලීනව සිදු වූ එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනය පිළිබඳව සඳහන් කළ විදේශ අමාත්‍යවරයා, අර්බුද කළමනාකරණය හමුවේ පෙර සූදානමක් සහිතව සිටීමේ බලවත් අවශ්‍යතාවය සහ එවැනි විපත් මෙන්ම එහි ප්‍රතිවිපාකවලට විසඳුම් සෙවීමේ දී අන්තර්ක්ෂේත්‍ර අධ්‍යයන ප්‍රවේශයකින් ලබා දිය හැකි අගනා දායකත්වය පිළිබඳව අවධාරණය කළේ ය.

මෙහිදී වැඩිදුර අදහස් දැක්වූ අමාත්‍ය මහාචාර්ය පීරිස් මැතිතුමා, ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ උත්සාහයන් පිළිබඳව දැනුම් දිය හැකි ක්ෂේත්‍ර රැසක් සම්බන්ධයෙන් සිදු කළ හැකි තිරසාර පර්යේෂණවල අවශ්‍යතාව පිළිබඳව ද අවධානය යොමු කළේ ය.

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියේ ආරම්භය සහ විකාශනය පිළිබඳව විස්තර කළ අමාත්‍ය මහාචාර්ය පීරිස් මැතිතුමා, ප්‍රභූ පද්ධතියක් නියෝජනය කිරීමේ සිට සමාජයේ පුළුල් හරස්කඩකින් පැමිණෙන සිසුන් පිරිසකට විශ්වවිද්‍යාල ප්‍රවේශය හිමි කර දුන් සියල් සපිරි පද්ධතියක් බවට පත්වූ විශ්වවිද්‍යල පද්ධතියේ ආරම්භය සහ වසර ගණනාවක් මුළුල්ලේ සිදු වූ ප්‍රගතිය පිළිබඳව සිහිපත් කළේ ය.

විධිමත් අධ්‍යාපනය තුළ ඇති අන්තර්ගතයන් සහ රැකියා වෙළඳපොළ තුළ ඇති ජීවනෝපාය මාර්ග අතර පවත්නා නොගැළපීම පිළිබඳ ගැටළු නිරාකරණය කිරීම සඳහා වත්මන් පද්ධතිය තුළ සමාජීය වශයෙන් නිශ්චිත වූ වෙනසක් ඇති කිරීමේ අවශ්‍යතාව පිළිබඳව අවධාරණය කළ විදේශ අමාත්‍යවරයා,  මෙතුළින් රැකියා වෙළඳපොළට සරිලන නිපුණතා සහිත උපාධිධාරීන් බිහි කිරීමට හැකි වන බව ප්‍රකාශ කළේ ය.

ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ “පළමුව අසල්වැසියන්” නමැති දැක්ම සහ එහි හවුල්කාරීත්ව සාර්ථකත්වය සම්බන්ධයෙන් පවත්නා ශක්‍යතා  පිළිබඳව සඳහන් කළ විදේශ අමාත්‍යවරයා, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මෙන්ම ජනතාව අතර පවත්නා විචිත්‍රවත් සබඳතා පිළිබඳව සඳහන් කළ අතර,  බහුවිධ කලාපීය සහයෝගීතාවය සඳහා වන විෂය පථය පිළිබඳව ද අවධාරණය කළේ ය.

විවිධ නිපුණතා සහ වෘත්තීය රැකියා සඳහා සුදුසුකම් ලත් පුද්ගලයින් වැඩි ප්‍රමාණයක් උසස් අධ්‍යාපන පද්ධතියට ඇතුළත් කර ගත හැකි වන පරිදි වෘත්තීය පුහුණු ආයතන කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමේ අවශ්‍යතාව මෙන්ම ශාස්ත්‍රීය අධ්‍යයනය හා වෘත්තීය පුහුණුව අතර පවතින දුරස්ථ බව පිළිබඳව පෙන්වා දෙමින් මහාචාර්ය පීරිස් මැතිතුමා සිය දේශනය අවසන් කළේය.

විදේශ අමාත්‍යාංශය

කොළඹ

2021 නොවැම්බර් 26 වැනි දින

...............................................

Videos can be downloaded through the following links:

                                                                                                                      https://we.tl/t-73dIIyNXnr

                                                                                                                      https://we.tl/t-gbtsKNRnHh

Print Friendly, PDF & Email
Please follow and like us:

Close