කොළඹ පැවති 14 වැනි ආසියාන් කලාපීය සංසදයේ (ARF) න්‍යෂ්ටික අවි සීමා කිරීම සහ නිරායුධකරණය පිළිබඳ (ISM on NPD) අන්තර් සැසි රැස්වීම සඳහා ශ්‍රී ලංකාව සත්කාරකත්වය ලබා දෙයි

කොළඹ පැවති 14 වැනි ආසියාන් කලාපීය සංසදයේ (ARF) න්‍යෂ්ටික අවි සීමා කිරීම සහ නිරායුධකරණය පිළිබඳ (ISM on NPD) අන්තර් සැසි රැස්වීම සඳහා ශ්‍රී ලංකාව සත්කාරකත්වය ලබා දෙයි

14 වැනි ආසියාන් කලාපීය සංසදයේ (ARF) න්‍යෂ්ටික අවි සීමා කිරීම සහ නිරායුධකරණය පිළිබඳ අන්තර් සැසි රැස්වීම (ISM on NPD) 2023 මැයි 16-17 යන දිනවල කොළඹ දී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ සහ තායිලන්තය සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවල සම සභාපතිත්වය යටතේ මෙම රැස්වීම පැවැත්විණි.

රටවල් 17 ක විදේශ කටයුතු, ආරක්ෂක සහ වෙළඳ අමාත්‍යාංශවල නිලධාරීන් පිරිසක් මෙම ආසියාන් කලාපීය සංසදයට සහභාගී වූ අතර, රටවල් 5 ක නිලධාරීහු අතථ්‍ය අයුරින් ඊට සහභාගී වූහ. විදේශ කටයුතු අමාත්‍යංශයේ (ශ්‍රී ලංකා) අධ්‍යක්ෂ ජනරාල් සත්‍යා රොද්‍රිගෝ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි. න්‍යෂ්ටික බලය සාමකාමී ලෙස භාවිතා කිරීම පිළිබඳ සාකච්ඡා සඳහා ද එතුමා නායකත්වය ලබා දුන්නේ ය. ප්‍රධාන නියෝජ්‍ය සහයක ලේකම් ඈන් කේ. ගන්වර් මහත්මිය (එක්සත් ජනපදය) සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් බොල්බොන්ග්සෙ වැන්ග්ෆයෙන් (තායිලන්තය) මහතා න්‍යෂ්ටික අවි සීමා කිරීම සහ නිරායුධකරණය පිළිබඳව පැවති සාකච්ඡාවල සමසභාපතිත්වය දැරූ හ.

ආරම්භයේ දී සිය අදහස් පළ කළ අධ්‍යක්ෂ ජනරාල් රොද්‍රිගෝ මහතා, නිරායුධකරණය පිළිබඳ විශේෂ සැසියක් පවත්වන ලෙස පළමුව ඉල්ලීම් කිරීමෙහිලා 1975 වසරේ දී ශ්‍රී ලංකාව සිදු කළ  කාර්යභාරය සහ කලාපීය සහ ජාත්‍යන්තර වේදිකා හමුවේ නිරායුධකරණය සඳහා ශ්‍රී ලංකාව දක්වන අඛණ්ඩ දායකත්වය පිළිබඳව සඳහන් කළේ ය.  ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ නිර්විනාශක පරීක්ෂණ ජාතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ අනුර ජයතිලක මහතා නිර්විනාශක පරීක්ෂණවල (NDT) කාර්යභාරය සහ නිෂ්පාදන සහ ඉදිකිරීම් කර්මාන්ත සඳහා එය භාවිතා කළ හැකි ආකාරය පිළිබඳ ඉදිරිපත් කිරීමක් සිදු කළේ ය.

ශ්‍රී ලංකාව 2007 වසරේ සිට ආසියාන් කලාපීය සංසදයේ සාමාජිකත්වය දරයි. ආසියාන් කලාපීය සංසදය යනු ආසියාන් සංවිධානයේ ප්‍රමුඛත්වය යටතේ, ආසියා පැසිෆික් කලාපය තුළ ආරක්ෂාව සම්බන්ධයෙන් සිදු කෙරෙන සංවාදය සඳහා ඉවහල් වන සුවිශේෂී යාන්ත්‍රණයක් වේ. තවද, කලාපය තුළ විශ්වාසය වර්ධනය කිරීමේ පියවර ගොඩනැගීම සහ ආරක්ෂණ රාජ්‍ය උපාය ක්‍රමය ප්‍රවර්ධනය කිරීම සඳහා ඉවහල් වන නිර්මාණාත්මක සංවාද සහ උපදේශන පෝෂණය කිරීම සඳහා ද ආසියාන් කලාපීය සංසදය හරහා අවස්ථාව සැලසේ.

ආසියාන් කලාපීය සංසදයේ SOM නායක, ද්විපාර්ශ්වික කටයුතු (නැගෙනහිර) අංශයේ අතිරේක ලේකම් යසෝජා ගුණසේකර මහත්මිය, දකුණු ආසියා සහ මධ්‍යම ආසියා අංශයේ අධ්‍යක්ෂ ජනරාල් වරුණ විල්පාත මහතා ඇතුළු විදේශ කටයුතු අමාත්‍යශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහ ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ශ්‍රී ලංකා දූත පිරිසට ඇතුළත් වූහ.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2023 මැයි 22 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close