කොරියාව ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයින් සඳහා පිරිනමන රැකියා කෝටාව දෙගුණ කර නිල සංවර්ධන ආධාර ඉහළ නැංවීමට කටයුතු කරයි- කොරියානු ජනරජයේ රාජ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධීකරණ අමාත්‍ය කූ යුන්- චෝල් මැතිතුමා

කොරියාව ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයින් සඳහා පිරිනමන රැකියා කෝටාව දෙගුණ කර නිල සංවර්ධන ආධාර ඉහළ නැංවීමට කටයුතු කරයි- කොරියානු ජනරජයේ රාජ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධීකරණ අමාත්‍ය කූ යුන්- චෝල් මැතිතුමා

 නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින කොරියානු ජනරජයේ රාජ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධීකරණ අමාත්‍ය කූ යුන්- චෝල් මැතිතුමා අද දින එනම්, 2022 අප්‍රේල් 01 වැනි දින විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මැතිතුමා හමුවිය. මෙම හමුවේ දී දෙපාර්ශ්වයම සමස්ත ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව සාකච්ඡා කළ අතර, කොරියාව සහ ශ්‍රී ලංකාව අතර සමීප සහ මිත්‍රශීලී සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ මාර්ග පිළිබඳව ද ගවේෂණය කළහ. ඉන් අනතුරුව දිවා භෝජන සංග්‍රහයක් පැවැත්විණි.

ආර්ථික සංවර්ධන සහයෝගීතා අරමුදල (EDCF) යටතේ ණය ආධාර ලබා දීම සහ කොරියානු ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය (KOICA) හරහා ආධාර ලබා දීම තුළින් මෙතෙක් පිරිනැමූ ඇති දැවැන්ත සහයෝගය වෙනුවෙන් කොරියානු රජය වෙත ශ්‍රී ලංකාවේ ගැඹුරු කෘතඥතාව පළ කළ විදේශ කටයුතු අමාත්‍යවරයා,  ඖෂධ නිෂ්පාදනය, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය කටයුතු (SME), අපද්‍රව්‍ය බැහැර කිරීම, බලශක්තිය, තාක්ෂණය, වෘත්තීය පුහුණුව සහ අධ්‍යාපනය ඇතුළු ක්ෂේත්‍ර රැසක් සම්බන්ධයෙන් පවත්නා සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය අපේක්ෂාවෙන් පසුවන බව සඳහන් කළේ ය.

විදේශීය අයවැය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දැනට මුහුණ දෙන අභියෝග පිළිබඳව අමාත්‍ය පීරිස් මැතිතුමා පැහැදිලි කළ අතර, අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක වන අංශ සම්බන්ධයෙන් පවත්නා සහයෝගීතාව තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා එක්ව කටයුතු කිරීමට දෙපාර්ශ්වය මෙහිදී සිය එකඟත්වය පළ කළහ. සංක්‍රමණික ශ්‍රී ලාංකිකයන් 22,000ක පමණ පිරිසක් රැකියා බලපත්‍ර ක්‍රමය (EPS) යටතේ කොරියාවේ සේවය කරති. ශ්‍රී ලාංකිකයින් සඳහා ප්‍රසන්න වෘත්තීය පරිසරයක් ලබා දීම සහ ඔවුන්ගේ සුබසාධනය පිළිබඳව සොයා බැලීම සම්බන්ධයෙන් විදේශ අමාත්‍යවරයා කොරියානු ජනරජය වෙත ශ්‍රී ලංකා රජයේ ප්‍රසාදය පළ කළේ ය.

දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයින් සඳහා ඉහළ රැකියා අවස්ථා ලබාදීමට කොරියානු රජය දැනටමත් අවධානය යොමු කර ඇති බව අමාත්‍ය කූ යුන්- චෝල් මැතිතුමා මෙහිදී ප්‍රකාශ කළේ ය. කොරියාව විසින් වෙන් කොට ඇති නිල සංවර්ධන ආධාර පිළිබඳ ප්‍රතිපාදන සඳහා වන ප්‍රමුඛ රටක් ලෙස ශ්‍රී ලංකාව ලැයිස්තුගත කොට ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ ය.

කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් ද මෙම හමුව සඳහා සහභාගී වූහ. දේශපාලන කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා, සංවර්ධන ඇගයීම් සහ කළමනාකරණ අධ්‍යක්ෂ ජනරාල්වරයා, මහජන සන්නිවේදන කටයුතු පිළිබඳ අග්‍රාමාත්‍ය ලේකම්වරයා, ශ්‍රී ලංකාවේ කොරියානු තානාපතිවරයා, කොරියානු ජනරජයේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ කොළඹ පිහිටි කොරියානු තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්, කොරියානු ජනරජයේ රාජ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධීකරණ අමාත්‍යවරයා සමඟ මෙම හමුව සඳහා සහභාගී වූහ.

Print Friendly, PDF & Email
Please follow and like us:

Close