කොරියාවේ රැකියා සඳහා පිටත්වීමට ඉක්මනින්ම අවස්ථාව සලසන බව ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති සහතික වෙයි

කොරියාවේ රැකියා සඳහා පිටත්වීමට ඉක්මනින්ම අවස්ථාව සලසන බව ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති සහතික වෙයි

 

කොරියාවේ රැකියා සඳහා සුදුසුකම් ලබා ඇති ශ්‍රී ලංකා තරුණ තරුණියන් සඳහා එරටට යෑමට අවශ්‍ය පහසුකම් ඉක්මනින් සපයන බව ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති වොන්ජින් ජියෝන් මහතා (Woonjin Jeong) විදේශ අමාත්‍යවරයාට සහතික විය. කොරියාවේ රැකියා සඳහා සුදුසුකම් ලබා ඇති තරුණ පිරිස මුහුණ දී ඇති ප්‍රමාදය පිළිබඳ සාකච්ඡා කිරිම සඳහා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් 2021 ජූනි 16 වන දින විදේශ අමාත්‍යංශයේ පැවැති සාකච්ඡාවකදී තානාපතිවරයා මේ බව සඳහන් කළේය. විදේශ රැකියා රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න, එම අමාත්‍යංශයේ ලේකම් සුන්දරම් ආරුමේනිහාම්, විදේශ රැකියා කාර්යංශයේ සභාපති කමල් රත්වත්ත, එහි උප සභාපති නිමල් තිබ්බටුමුණුව හා විදේශ රැකියා කාර්යාංශයේ සාමාන්‍යාධිකාරි මංගල රන්දෙනිය ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගි වී සිටියහ.

මෙහිදී විදේශ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ කොරියාවේ රැකියා සඳහා සුදුසුකම් ලබා ඇති පිරිස දීර්ඝ කාලයක් තිස්සේ එහි රැකියා සඳහා පිටත්ව යාමට අපේක්ෂාවෙන් සිටින නමුත්, කොවිඩ් වසංගත තත්ත්වය නිසා එය දිනෙන් දින මඟ හැරි ගොස් ඇති බවය. මේ නිසා ඔවුන් දැඩි මානසික පීඩනයකට ලක්ව සිටින බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මෙහිදී කොරියානු රජයේ ස්ථාවරය පැහැදිලි කළ ශ්‍රී ලංකාවේ කොරියානු තානාපතිවරයා පෙන්වා දුන්නේ, කොරියානු රැකියා සඳහා සුදුසුකම් ලබා ඇති සියලු දෙනාටම එම රැකියා අවස්ථා සලසා දීමට සැලසුම් කර ඇති බවය. කොවිඩ් වසංගත තත්වය නිසා එම අවස්ථා ලබා දීමේ යම් ප්‍රමාදයක් ඇති නමුත් හැකි පළමු අවස්ථාවේම ඔවුන්ව කොරියාවට පිටත් කිරීමට තමන් අවධානයෙන් සිටින බව ද ඔහු සඳහන් කළේය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ දියුණුව සඳහා ද කොරියානු රජය ආධාර උපකාර කිරීමට අපේක්ෂාවෙන් අදාල කටයුතු සැලසුම් කරමින් සිටින බව ද තානාපතිවරයා මෙහිදී සඳහන් කළේය. තවද කොරියාවේ රැකියා සඳහා ශ්‍රී ලාංකික තරුණ පිරිසට වැඩි අවස්ථා ලබා ගැනීම, දෙරටේ ආර්ථික සහයෝගිතාව වර්ධනය කර ගැනීම ඇතුළු කරුණු කීපයක්ම මෙම සාකච්ඡාවට බඳුන් විය.

විදේශ අමාත්‍යාංශය

කොළඹ

2021 ජුනි මස 17 වන දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close