කොරියානු ජනරජයේ, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නම් කරන ලද තානාපතිතුමිය වැඩ භාර ගන්නා ලදි

කොරියානු ජනරජයේ, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නම් කරන ලද තානාපතිතුමිය වැඩ භාර ගන්නා ලදි

කොරියානු ජනරජයේ, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නම් කරන ලද තානාපතිනි සවිත්‍රි ඉන්ද්‍රචාපා පානබොක්කේ මහත්මිය 2022.06.13 දින සෝල් නුවර ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තානාපති කාර්යාලයේදී  වැඩ භාර ගන්නා ලදි.

ආගමික කටයුතු වලට සම්බන්ධ වීමෙන් අනතුරුව වැඩ භාරගත් පානබොක්කේ මහත්මිය, තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය අමතමින් ශ්‍රී ලංකාව සහ කොරියානු ජනරජයේ ද්විපාර්ශ්වික සබඳතාවල වැදගත්කම සහ දේශපාලන, ආර්ථික, සමාජ සංස්කෘතික, ආගමික සහ කම්කරු ක්ෂේත්‍ර ඇතුළු එහි බහුවිධ මානයන් වැඩිදියුණු කිරීමට කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳව සඳහන් කළාය. කොරියානු ජනරජයේ සිටින ශ්‍රී ලාංකික සේවක ප්‍රජාවට කොන්සියුලර් සේවා සහ කම්කරු සුබසාධන සේවා සැපයීම සඳහා ජනතා කේන්ද්‍රීය සහ ජනතා හිතකාමී ප්‍රවේශයන් අනුගමනය කිරීමේ වැදගත්කම පානබොක්කේ මහත්මිය වැඩිදුරටත් අවධාරණය කළාය.

ශ්‍රී ලංකා විදේශ සේවයේ සාමාජිකාවක් වන පානබොක්කේ මහත්මිය ශ්‍රී ලංකා විදේශ සේවයේ වසර 22 කට අධික කාලයක් සේවය කර ඇති අතර කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල බොහෝ තනතුරු හොබවා ඇත.

එතුමියගේ විදේශ සේවා කාලය තුල, නිව් යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය දූත මණ්ඩලය, වියානාහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, බ්‍රසල්ස්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ යුරෝපා සංගමයේ නිත්‍ය දූත මණ්ඩලය යන ආයතන වල සේවය කර ඇත. තවද, එතුමිය කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නැගෙනහිර ආසියා පැසිෆික් අංශය, ආර්ථික කටයුතු අංශය, මහජන සන්නිවේදන අංශය සහ විදේශ ලේකම් කාර්යාංශය ඇතුළු ආයතන වල විවිධ තනතුරු දරමින් සේවය කර ඇත. සෝල්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත පත් කිරීමට ප්‍රථම එතුමිය කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශයේ කලාපීය සහයෝගිතා අධ්‍යක්ෂජනරාල් තනතුර හොබවන ලදි.

නම් කරන ලද තානාපතිනි පානබොක්කේ මහත්මිය කොළඹ විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ උපාධියක් සහ සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇත.

 

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

සෝල්

2022 ජූනි 16 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close