කොන්සල් ජනරාල්වරිය ෆ්‍රෑන්ක්ෆර්ට් ඇම් මේන් හි රාජ්‍යතාන්ත්‍රික ගිම්හාන සමුළුවේ දී ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරයි

කොන්සල් ජනරාල්වරිය ෆ්‍රෑන්ක්ෆර්ට් ඇම් මේන් හි රාජ්‍යතාන්ත්‍රික ගිම්හාන සමුළුවේ දී ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරයි

ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් මධුරිකා ජෝශප් වෙනිංගර් මහත්මිය ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 2021 අගෝස්තු 26 දින පැවති රාජ්‍යතාන්ත්‍රික කවුන්සිලයේ ගිම්හාන සැමරුම් උත්සවය ඇමතුවාය. මෙම උත්සවය රාජ්‍යතාන්ත්‍රික කවුන්සිලයේ නිර්මාතෘ මහලේකම් හෑන්ග් නුගුයන් මහත්මිය සහ විධායක සභාපති ඇන්ඩ්‍රියාස් ඩ්‍රිප්ට්කේ මහතා විසින් ෆ්‍රෑන්ක්ෆර්ට් ඇම් මේන් හි පිහිටි සුවිශේෂී විලා බොන් හිදී පැවැත්විණි.

මෙම ගිම්හාන සැමරුම සඳහා ජර්මනියේ දකුණු කලාපයේ කර්මාන්ත නායකයින්, රාජ්‍යතාන්ත්‍රික කවුන්සිලයේ සාමාජිකයින් සහ හෙසියන් නිර්වේතනික කොන්සල්වරුන් මෙන්ම ප්‍රාදේශීය වෙළෙඳ නායකයින් ද සහභාගී විය.

කොන්සල් ජනරාල්වරිය මෙම විශාල සම්භාවනීය සභාව අමතමින්, ශ්‍රී ලංකාවේ අලංකාරය සහ එහි පොහොසත් සංස්කෘතික උරුමයන් ඉස්මතු කළාය. ආසියාවේ විවිධත්වයෙන් යුතු ජෛව විද්‍යාත්මක ස්ථානවලින් එකක් වන ශ්‍රී ලංකාවේ ගවේෂණය කිරීම සඳහා ජාතික වනෝද්‍යාන 26 ක් ඇති අතර, ඒවායින් බොහොමයක් අසාමාන්‍ය වනජීවීන්ගේ වාසස්ථාන වන බව ඇය විස්තර කළාය. බහු වාර්ගික, බහු සංස්කෘතික හා බහු ආගමික, ආගන්තුක සත්කාරයෙන් යුත් දේශයක් වන ශ්‍රී ලංකාවේ බොහෝ සංස්කෘතික උත්සව පවත්වන බව ද ඇය පැවසුවාය.

කොන්සල් ජනරාල්වරිය ඍජු සම්බන්ධතාවය ගැන කතා කළ අතර, ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සේවය සතියකට දෙවරක් කොළඹ සිට ෆ්‍රැන්ක්ෆර්ට් ඇම් මේන් දක්වා ක්‍රියාත්මක වේ. ජෛව බුබුලක ආරක්ෂාව යටතේ සංචාරකයින්ට අනුමත සංචාරක ස්ථාන නැරඹිය හැකි බව ද ඇය විස්තර කළාය.

2019 සහ 2020 දී සංචාරය කිරීමට හොඳම ගමනාන්තයක් සහ හොඳම දිවයිනක් ලෙස කොණ්ඩේ නැස්ට්, ලෝන්ලි ප්ලැනට්, ට්‍රැවල් ඇන්ඩ් ලෙෂර් හා ශීත ඍතුවේ සංචාරය කිරීම සඳහා හොඳම රට ලෙස යූඑස්ඒ ටුඩේ සහ ඒෂියාස් ලීඩිං ඇඩ්වෙන්චර් ටුවරිසම් වැනි බොහෝ ප්‍රකාශන මඟින් ශ්‍රී ලංකාව නිර්දේශ කර ඇති බවට කොන්සල් ජනරාල්වරිය ප්‍රේක්‍ෂකයින්ගේ සිත් තුළ පැහැදීමක් ඇති කළාය.

ශ්‍රී ලංකාව ප්‍රතිලාභ ලබා ඇති කොවැක්ස් පහසුකම සඳහා ජර්මානු රජය දක්වන ගෝලීය දායකත්වය පිළිබඳව කොන්සල් ජනරාල්වරිය ශ්‍රී ලංකාවේ ප්‍රසාදය පළ කළාය. මෙම ක්‍රියාව ශ්‍රී ලංකාව සහ ජර්මනිය අතර පවතින දිගු කාලීන මිත්‍රත්වයේ පිළිබිඹුවකි.

පරිවාර නිලධාරී අශිනි පෙරේරා මහත්මිය සහ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ දේශීය කාර්ය මණ්ඩලය උත්සව අවස්ථාවල දී ලංකා තේ ප්‍රවර්‍ධනය කළහ. ලංකා තේ වල ප්‍රාදේශීය රස වර්ග 7 සාම්පල ලබා ගනිමින් හා රස විඳිමින් අමුත්තන් සවස් වරුවේ විනෝද වූහ. ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික රසකැවිලි ද අමුත්තන් වෙත පිරිනමන ලදි. අමුත්තන් සතුටට පත් කරමින් ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයේ සහ ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ තුටු පඬුරු ලෙස තෑගි මලු ද පිරිනැමිණි.

ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය පිළිබඳ වාර්තා චිත්‍රපටයක් ද ප්‍රදර්ශනය කෙරිණි. සංචාරක ව්‍යාපාරය පිළිබඳ කොන්සල් ජනරාල්වරියගේ ඉදිරිපත් කිරීම සහ තේ පිළිබඳ ඉදිරිපත් කිරීම සඳහා නරඹන්නන්ගෙන් හොඳ ප්‍රතිචාරයක් ලැබුණි. පැමිණ සිටි බොහෝ දෙනා නුදුරු අනාගතයේ දී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට අපේක්ෂාව පළ කළහ.

ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය

ෆ්‍රෑන්ක්ෆර්ට්

2021 සැප්තැම්බර් 09 වැනි දින

 

 

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close