කියුබානු තානාපතිවරයා විදේශ අමාත්‍යතුමා හමුවෙයි

කියුබානු තානාපතිවරයා විදේශ අමාත්‍යතුමා හමුවෙයි

කියුබාවේ නව තානාපති ඇන්ඩ්‍රෙස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගැරිඩෝ මැතිතුමා අද (29/07) විදේශ අමාත්‍යාංශයේ දී විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා හමුවිය. ඉකුත් 22 දින සිය අක්තපත්‍ර ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූ තානාපතිවරයා අමාත්‍යවරයා විසින් උණුසුම් ලෙස පිළිගත්තේය.

විශේෂයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ඇතුළුව, බහුපාර්ශ්වික වේදිකාවල දී ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහයෝගය  ලබා දීම පිළිබඳව විදේශ අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා කියුබානු රජය වෙත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රශංසාව පිරිනැමීය. 2004 ආසියානු සුනාමි ව්‍යසනයෙන් අනතුරුව ශ්‍රී ලංකාවට ලබා දුන් සැලකිය යුතු සහාය සිහිපත් කරමින්, පසුගිය වසරේ කොවිඩ්-19 වසංගත ව්‍යාප්තිය අතරතුර දී හයිටියේ අතරමංව සිටි ශ්‍රී ලාංකික විදේශිකයින්ට ලබා දුන් වෛද්‍ය ආධාර පිළිබඳව එතුමා කියුබානු රජයට ස්තූතිය පුද කළේය. කියුබාවේ සහ ලතින් ඇමරිකානු කලාපයේ මෑත කාලීන ප්‍රවණතා පිළිබඳව තානාපතිවරයා විදේශ අමාත්‍යවරයා දැනුවත් කළේය.

ශ්‍රී ලංකාව සහ කියුබාව අතර සෑම මට්ටමකම පවතින සුහද සබඳතා වැඩි දියුණු කිරීමේ අරමුණින් යුතුව,ඖෂධ හා එන්නත් නිෂ්පාදනය, පොල් හා උක් වගාව සහ ශ්‍රී ලංකාවේ ස්පාඤ්ඤ භාෂා පාඨමාලා පැවැත්වීම යන අංශවල තවදුරටත් සහයෝගීතාව ඇති කර ගැනීමේ හැකියාව ඇතුළු පුළුල් පරාසයක ද්විපාර්ශ්වික කරුණු පිළිබඳව විදේශ අමාත්‍යවරයා තානාපතිවරයා සමඟ සාකච්ඡා පැවැත්වීය.

විදේශ අමාත්‍යාංශය

කොළඹ

2021 ජූලි 29 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close