කාබන් විරහිත බලශක්තියට හුරු වීමට ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නය බලශක්ති අමත්‍යවරයා ලොවට කියයි

කාබන් විරහිත බලශක්තියට හුරු වීමට ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නය බලශක්ති අමත්‍යවරයා ලොවට කියයි

වසංගතය මඟින් රටේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වී තිබෙන කාල සීමාවක දී පවා, කාබන් විරහිත බලශක්තියට පරිවර්තනය වීම සඳහා ශ්‍රී ලංකාව දරන ප්‍රයත්න සහ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතය දිරිගැන්වීම සඳහා දේශීය සන්දර්භය තුළ හඳුන්වා දෙන ලද මූලාරම්භයන් පිළිබඳව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා බර්ලින් හි පැවැති 7 වන බල ශක්ති සංක්‍රාන්ති සංවාදයට අන්තර්ජාලය හරහා සහභාගී වෙමින් සදහන් කෙළේය. ඉකුත් 17 වැනිදා පැවැති මෙම සංවාදයට බල ශක්ති අමාත්‍යවරයා සහභාගී  වූයේ ෆෙඩරල් විදේශ අමාත්‍ය හෙයිකෝ මාස් මැතිතුමා සහ ජර්මනියේ ආර්ථික කටයුතු හා බලශක්ති පිළිබඳ ෆෙඩරල් අමාත්‍ය පීටර් අල්ට්මයර් මැතිතුමාගේ ආරාධනයකට අනුවය. 'දේශගුණික කවය ක්‍රමවත් කිරීම - වසංගතය තුළින් පාඩම් ඉගෙනීම’ මෙම සංවාදයේ තේමාව වී තිබුණි.

වේල්ස් හි අනාගත පරපුර පිළිබඳ කොමසාරිස් සොෆී හෝවේ මහත්මිය, උගන්ඩාවේ ‘අනාගතය සඳහා සිකුරාදා’ ව්‍යාපාරයෙහි දේශගුණික ක්‍රියාකාරිනී හිල්ඩා ෆ්ලේවියා නකාබුයි මහත්මිය, ජෝර්ජියාවේ පරිසර ආරක්ෂණ හා කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නිනෝ ටැන්ඩිලාෂ්විලි මහත්මිය සහ දකුණු කොරියාවේ තානාපති සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දේශගුණික විපර්යාස පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය යෙඔන්-චුල් යූ මැතිතුමා ද මෙම සාකච්ඡා මණ්ඩලයට සහභාගී විය.

බර්ලින් බලශක්ති සංක්‍රාන්ති සංවාදය යනු බලශක්ති අංශයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් සඳහා ආරක්ෂිත, දැරිය හැකි සහ පරිසර හිතකාමී පිරිසිදු බලශක්තිය පිළිබඳව ඔවුන්ගේ අත්දැකීම් සහ අදහස් බෙදාහදා ගැනීම සඳහා වන ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර සංසදයකි.

මෙම වසංගත තත්ත්වය හේතුවෙන් 2021 මාර්තු 16 සහ 17 යන දෙදින තුළ දී මෙම සංවාදය අන්තර්ජාලය හරහා පැවැත්වුණු අතර, රටවල් 50 කට වැඩි සංඛ්‍යාවක ඉහළ පෙළේ නියෝජිතයින් ඊට සහභාගී වූහ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
බර්ලින්

2021 අප්‍රේල් 06 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close