කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා සෞදි අරාබි රාජධානියේ සිදු කළ සිය නිල සංචාරය අවසන් කරයි

කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා සෞදි අරාබි රාජධානියේ සිදු කළ සිය නිල සංචාරය අවසන් කරයි

කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා 2022 මාර්තු 19 සිට 21 යන දිනවල සෞදි අරාබි රාජධානියේ නිල සංචාරයක නිරත විය. මෙම සංචාරය, සෞදි අරාබි රාජධානියේ විදේශ අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් කුමරු 2022 මාර්තු  14 වැනි දින ශ්‍රී ලංකාව තුළ විදේශ අමාත්‍ය මට්ටමෙන් සිදු කළ පළමු ද්විපාර්ශ්වික සංචාරයෙන් පසුව පවත්වන ලද සංචාරය යි.

රාජ්‍ය අමාත්‍ය බාලසූරිය මැතිතුමා මෙම සංචාරය අතරතුර විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අදෙල් බින් අහ්මඩ් අල්- ජුබෙයිර් මැතිතුමා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූ අතර, සෞදි රාජ්‍ය අමාත්‍යවරයා විසින් පිළිගන්වන ලද ක්‍රියාකාරී දිවා භෝජන සංග්‍රහයකට ද සහභාගී විය.

සෞදි අරාබියේ ආයෝජන අමාත්‍ය ඛලීඩ් ඒ. අල්- ෆාලි මැතිතුමා සමඟ පවත්වන සාකච්ඡාව අතරතුරදී පුනර්ජනනීය බලශක්තිය, සැපයුම් අංශය, සංචාරක ව්‍යාපාරය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, ඖෂධ සහ රෙදිපිළි යන අංශ සම්බන්ධයෙන් සෞදි ව්‍යාපාරවලට තම ආයෝජන සිදු කිරීම සඳහා ඇති හැකියාව පිළිබඳව ගවේෂණය කෙරිණි. මෙම හමුවෙන් අනතුරුව, රාජ්‍ය අමාත්‍ය බාලසූරිය මැතිතුමා විසින් ඉහත ක්ෂේත්‍ර නියෝජනය කරන සෞදි අරාබි රාජධානියේ ප්‍රමුඛ පෙළේ සමාගම් 25කට අධික සංඛ්‍යාවක් සමඟ ද සාකච්ඡාවක් පවත්වන ලදි.

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ සමාගමක් වන ACWA සමාගම තුළ සිදු කළ සංචාරය සහ සභාපති මොහොමඩ් අබ්දුල්ලා අබුනයියන් මහතා සමඟ හමුවක් පැවැත්වීම යනාදිය, රාජ්‍ය අමාත්‍යවරයා සිය නිල සංචාරය අතරතුර සිදු කළ අනෙකුත් නිරතවීම්වලට ඇතුළත් විය. එතුමා ඇමරිකානු විදුලි වාහන නිෂ්පාදන සමාගමක් වන LUCID සමූහය වෙත පැමිණ, එහි කළමනාකාර අධ්‍යක්ෂ ෆයිසාල් සුල්තාන් මහතා හමුවිය. තවද ව්‍යාපාර, බලශක්තිය, පරිසරය, සංචාරක ව්‍යාපාරය, සැපයුම්, අධ්‍යාපනය සහ තාක්‍ෂණය යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් බහුවිධ අවධානයක් යොමු කරන, විවිධාංගීකරණයට ලක් වූ ප්‍රමුඛ පෙළේ සමාගම් සමූහයක් වන අජිලාන් බ්‍රදර්ස් සමාගම තුළද සංචාරයක නිරත විය. රාජ්‍ය අමාත්‍යවරයා එම සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී, ඉංජිනේරු අලි අල්හස්මි මහතා ද හමුවිය.
රාජ්‍ය අමාත්‍ය බාලසූරිය මැතිතුමා, සෞදි අරාබි රාජධානියේ වාණිජ මණ්ඩල 38 හි කේන්ද්‍රීය සංවිධානය වන සෞදි වාණිජ මණ්ඩල සම්මේලනයේ දී, ශ්‍රී ලංකාව සතු ව්‍යාපාරික අවස්ථා සහ ආයෝජන අවස්ථා පිළිබඳව ප්‍රධාන දේශනයක් පැවැත්වී ය.

විදේශ රැකියා සහ වෙළෙඳපොළ විවිධාංගීකරණය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මැතිතුමා, සෞදි අරාබි රාජධානියේ ශ්‍රී ලංකා තානාපති පී.එම්. අම්සා මැතිතුමා, අතිරේක ලේකම් මහාචාර්ය සාජ් යූ. මෙන්ඩිස් මහතා සහ තානාපති කාර්යාලයේ නිලධාරීහු පිරිසක්, රාජ්‍ය අමාත්‍ය බාලසූරිය මැතිතුමා සමඟ මෙම රැස්වීම්වලට සහභාගී වූහ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

රියාද්2022 මාර්තු 28 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close