කඩොලාන පරිසර පද්ධතිය සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර දිනය සැමරීම

කඩොලාන පරිසර පද්ධතිය සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර දිනය සැමරීම

පසුගිය අවුරුදු 50 ක කාලය තුළ දී කඩොලානවලින් 30-50% අතර ප්‍රමාණයක් අහිමි වී ගොස් ඇත. නව, අඩු වියදම් තාක්‍ෂණයන්ගෙන් ප්‍රතිලාභ ලබා ගැනීම සහ සවිබල ගැන්වීම තුළින් ප්‍රාදේශීය ප්‍රජාවන්ගේ ඔරොත්තු දීමේ හැකියාවට සහය වීම සහ නව්‍ය අරමුදල් තුළින් කඩොලාන ප්‍රතිසංස්කරණය සඳහා නව ප්‍රවේශයන් මතුවෙමින් තිබේ. මෑත දී ශ්‍රී ලංකාවේ වෙරළට ඔබ්බෙන් සිදුවූ එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර මඟින් අවධාරණය කර ඇති පරිදි, වෙරළබඩ කඩොලාන පරිසර පද්ධති පුළුල් පරාසයක පීඩනවලට ගොදුරු විය හැකි අතර, ඒ සඳහා විශ්වාසදායක අධීක්ෂණ සහ ප්‍රතිචාර සැලසුම් අවශ්‍ය වේ.

පොදුරාජ්‍ය මණ්ඩලයීය රටවල් 54 න් 33 කම කඩොලාන පරිසර පද්ධති පවතින අතර, එමඟින් ගෝලීය කඩොලානවලින් 22% ක් නියෝජනය වේ. ශ්‍රී ලංකාව විසින් මෙහෙයවනු ලබන කඩොලාන පරිසර පද්ධති සහ ජීවනෝපාය ක්‍රියාකාරී කණ්ඩායම (MELAG), ක්‍රියාකාරීත්වය සඳහා ප්‍රමුඛතා හඳුනා ගැනීම, සංරක්ෂණය හා තිරසාර භාවිතය ක්‍රියාවට නංවන මූල්‍යකරණය සඳහා නව්‍ය ක්‍රම, ප්‍රතිපත්ති සක්‍රීය කිරීම සහ දැනුවත් තීරණ ගැනීමේ ක්‍රියාවලියක් පිණිස දත්ත පාලනය ආරම්භ කිරීම සඳහා එහි සාමාජිකයන් සමඟ කටයුතු කරමින් සිටී.

යුනෙස්කෝව විසින් ප්‍රකාශයට පත් කරන ලද කඩොලාන පරිසර පද්ධතිය සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර දිනය සමරන විදේශ අමාත්‍යාංශය, එහි මුල පිරීම් දෙකක කොටස්කරුවෙකි.

කඩොලාන පරිසර පද්ධති සහ ජීවනෝපායන් පිළිබඳ පොදුරාජ්‍ය මණ්ඩලයීය නිල් ප්‍රඥප්ති ක්‍රියාකාරී කණ්ඩායමේ (MELAG) ඒකාබද්ධ සම්බන්ධීකාරක ලෙස විදේශ අමාත්‍යාංශයේ සාගර කටයුතු, පරිසර හා දේශගුණික විපර්යාස අංශය, පොදුරාජ්‍ය මණ්ඩලයීය මහලේකම් කාර්යාලය සමඟ එක්ව “කඩොලාන පරිසර පද්ධතිය සංරක්ෂණය සඳහා ජාත්‍යන්තර දිනය: කඩොලාන පරිසර පද්ධති සිතියම්ගත කිරීම” යන තේමාව යටතේ වෙබිනාර් සාකච්ඡාවක් සංවිධානය කරන ලදී. මෙම තේමාව, “අද්විතීය, විශේෂ සහ අවදානමට ලක්විය හැකි පරිසර පද්ධතියක්” ලෙස කඩොලාන පරිසර පද්ධතිවල වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීම සහ ඒවායෙහි තිරසාර කළමනාකරණය, සංරක්ෂණය සහ භාවිතයන් සඳහා විසඳුම් ප්‍රවර්ධනය කිරීම සඳහා විය.

මෙම වෙබ්නාර් සාකච්ඡාව ගෝලීය කඩොලාන ආවරණය පිළිබඳ සවිස්තරාත්මක චිත්‍රයක් නිර්මාණය කිරීම සඳහා චන්ද්‍රිකා ඡායාරූප උපකාරී වන්නේ කෙසේද යන්න පිළිබඳ උනන්දුවක් දක්වන පොදුරාජ්‍ය මණ්ඩලයීය රජයේ නිලධාරීන් වෙත අවධානය යොමු කළේය. මෙමඟින් ලබාගන්නා දැනුම, ජාතික ප්‍රතිපත්ති හා සැලසුම්, නිල් කාබන් උපායමාර්ග සහ ජාතික වශයෙන් තීරණය කරන ලද දායකත්වයන් සඳහා දායක කරගත හැකිය.

මෙම වෙබිනාර් සාකච්ඡාවේ කථිකයින් අතර වූ, සාගර කටයුතු, පරිසර හා දේශගුණික විපර්යාස පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් හසන්ති උරුගොඩවත්තේ දිසානායක මහත්මිය MELAG තුළ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ භූමිකාව, ප්‍රධාන ජයග්‍රහණ සහ කඩොලාන පිළිබඳ එක්ස්ප්‍රස් පර්ල් නෞකා ව්‍යසනයේ අතුරු ප්‍රතිඵල පිළිබඳව; පරිසර අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂිකා පත්මා අබේකෝන් මහත්මිය ප්‍රතිපත්ති මාර්ගෝපදේශ සකස් කිරීම සහ ක්‍රියාකාරී සැලැස්ම ඇතුළුව ශ්‍රී ලංකාවේ කඩොලාන සංරක්ෂණය හා ප්‍රතිෂ්ඨාපනය පිළිබඳ ජයග්‍රහණ සහ සිතියම්ගත කිරීම හා අධීක්ෂණය සඳහා අධි විභේදන චන්ද්‍රිකා ඡායාරූපවල පවතින වැදගත්කම පිළිබඳව; ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝහි සමුද්‍රීය කටයුතු පිළිබඳ ආයතනයේ භූඅවකාශ පිළිබඳ පර්යේෂණ සහකාර, නිකියා ගුඩිං මහත්මිය කඩොලාන නිරීක්ෂණය කිරීම සඳහා චන්ද්‍රිකා සහ ගුවන් ඡායාරූප භාවිතා කිරීම පිළිබඳ ඔවුන්ගේ අත්දැකීම් සහ ඊඑම්එස්ඒ ප්ලැනට්ස් චන්ද්‍රිකා සමාගමේ උපායමාර්ගික ගිණුම් පිළිබඳව සහ මාර්ක් රිචඩ්සන් මහතා කොරල් සහ කඩොලාන සිතියම් ගත කිරීමේ දී සමාගම රටවල් සමඟ සහයෝගයෙන් කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳව අවධානය යොමු කළහ. පොදුරාජ්‍ය මණ්ඩලයීය මහලේකම් කාර්යාලයේ නිල් ප්‍රඥප්ති ව්‍යාපෘතියේ නියමු සාගර පාලනය පිළිබඳ උපදේශක ආචාර්ය ජෙෆ් ආර්ඩන් මහතා විසින් වෙබිනාර් සාකච්ඡාව පාලනය කරන ලදී.

ලොව පුරා සිටින පොදුරාජ්‍ය මණ්ඩලයීය සහෝදරත්වයට අයත් 75 කට අධික පිරිසක් මෙම වෙබිනාර් සාකච්ඡාවට සම්බන්ධ වූහ.

මෙම විශේෂ දිනය සැමරීම සඳහා, වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මැතිතුමාගේ මෙහෙයවීම යටතේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නැගෙනහිර වෙරළ තීරයේ ‘ඕමාරි කලපුවේ’ කඩොලාන රෝපණ ව්‍යාපාරයක් සංවිධානය කරන ලදී. විදේශ අමාත්‍යාංශය නියෝජනය කරමින්, සාගර කටයුතු, පරිසර හා දේශගුණික විපර්යාස පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල්වරිය ඇතුළු කණ්ඩායම ඊට සහභාගී විය.

ඔමාරි කලපුව යනු මුහුදට කෙලින්ම සම්බන්ධ නොවන සුවිශේෂී කලපුවක් වන අතර, මෙම ප්‍රදේශය මුහුදු මට්ටම වඩා පහතින් පිහිටා ඇති බැවින් පස හරහා නිරන්තරයෙන් ලවණතාව කාන්දුවෙමින් පවතී. කඩොලාන නිසා, මෙම ලවණතාව තවදුරටත් අභ්‍යන්තරයට පැමිණීම වලක්වනු ලැබේ. මෙය කඩොලාන ආසන්නයේ වී වගාව සිදු කිරීමට ඉඩ සලසයි. වැසි සමයේදී මඩ සහිත තැනිබිම් ජලයෙන් යටවී ඒවායෙහි මසුන් පිටතට පැමිණ වේගයෙන් බෝ වන අතර, එමඟින් දේශීය ප්‍රජාවන්ට ධීවර කර්මාන්තය තුළින් තවත් ජීවනෝපාය මාර්ගයක් සලසා ගත හැකිය. ඇත්ත වශයෙන්ම කඩොලාන නිවර්තන වනාන්තරවලට වඩා 3-4 ගුණයක් කාබන් නිකුත් කරයි යන විද්‍යාත්මක සත්‍යයට අමතරව, එය ජීවනෝපායන් සඳහා සෘජුවම දායක වන හෙයින්, කඩොලාන සංරක්ෂණය කළ යුත්තේ මන්ද යන්නට මෙය කදිම නිදසුනකි.

විදේශ අමාත්‍යාංශය

කොළඹ

2021 ජූලි 29 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close