ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍යවරිය විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා සමඟ පුළුල් සාකච්ඡා පවත්වයි

ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍යවරිය විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා සමඟ පුළුල් සාකච්ඡා පවත්වයි

ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය කේරන් ඇන්ඩෲස් මැතිනිය ශ්‍රී ලංකාව තුළ සිදු කළ නිල සංචාරය අතරතුර දී, විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා, 2021 දෙසැම්බර් 20 වැනි දින විදේශ අමාත්‍යංශයේ දී  හමු වූ අතර, එහිදී පුළුල් පරාසයක ක්ෂේත්‍ර සම්බන්ධයෙන් පවත්නා සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ මාර්ග පිළිබඳව සාකච්ඡා කළා ය.

ශ්‍රී ලංකාව තුළ මෙන්ම කලාපය තුළ සිදුවන මිනිස් ජාවාරම් සහ ජාත්‍යන්තර අපරාධ වැළැක්වීම සඳහා ඕස්ට්‍රේලියාව පෙන්වන සැලකිය යුතු මැදිහත්වීම පිළිබඳව විදේශ අමාත්‍යවරයා සිය සතුට පළ කළේ ය. ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින විචිත්‍රවත් හවුල්කාරිත්වය ඔස්සේ පුද්ගල ජාවාරම් වැළැක්වීම සහ දේශසීමා ආරක්‍ෂක කටයුතු සම්බන්ධයෙන් දෙරට අතර පවතින ඉහළ, ඵලදායී සහ සාර්ථක සහයෝගීතාවය විද්‍යමාන වන බව ද අමාත්‍යවරයා යළි අවධාරණය කළේ ය.

2009 වසරේ දී අභ්‍යන්තර සන්නද්ධ යුධ ගැටුම් අවසන් වීමෙන් පසුව ද අවශේෂ වූ ගැටලු විසඳීම සඳහා ක්‍රියාත්මක කෙරෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) ඇතුළු ප්‍රතිපත්ති සහ නීති හා සබැඳි අඛණ්ඩ සමාලෝචන කටයුතු පිළිබඳව ද අමාත්‍ය පීරිස් මහතා මෙරටට පැමිණි අමාත්‍යවරිය දැනුම්වත් කළේ ය. මීට අදාළව රජය ගත් ක්‍රියාමාර්ගවලට අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය, වන්දි ගෙවීමේ කාර්යාලය, ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය (ONUR), තිරසාර සංවර්ධන ඉලක්ක 16 පිළිබඳ කවුන්සිලය සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව යනාදිය පිහිටුවීම ඇතුළත් වේ.

මෙම සංචාරය අතරතුර දී අමාත්‍ය ඇන්ඩෲස් මැතිනිය මෙරට ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මැතිතුමා සමඟ එක්ව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා දේශසීමා අවදානම් තක්සේරු මධ්‍යස්ථානය (BRAC) එම පරිශ්‍රයේ දී උත්සවාකාරයෙන් විවෘත කළා ය. ශ්‍රී ලංකාවට සහ ඔස්ට්‍රේලියාවට පුද්ගලයන් ආපසු පැමිණීම සහ ඔවුන් නැවත භාර ගැනීම සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුමකට ද අමාත්‍යවරුන් දෙදෙනාම ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ දී මින් පෙර අත්සන් තැබූහ.

වෘත්තීය අධ්‍යාපනය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාව සතු ප්‍රවීනත්වය පිළිබඳව සඳහන් කළ විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා,  ශ්‍රී ලංකාවේ වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සඳහා ඔස්ට්‍රේලියාවේ තාක්ෂණික සහය ඉල්ලා සිටියේ ය.

ඕස්ට්‍රේලියානු නිෂ්පාදන ශ්‍රී ලංකාව හරහා අනෙකුත් වෙළෙඳපොළ වෙත යොමු කිරීම මගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඉමහත් ප්‍රතිලාභ ලබා ගත හැකි ආකාරයේ ප්‍රතිනැව්ගත කිරීමේ මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් වන යෝජිත වැඩපිළිවෙළ කෙරෙහි ද අමාත්‍යවරයා සිය දැඩි උනන්දුව පළ කළේ ය.

තවද, ඉදිරි මාසවල දී පුද්ගල ජාවාරම් සහ අනෙකුත් ජාත්‍යන්තර අපරාධ පිළිබඳ ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමේ (JWG) මීළඟ සැසිවාරය ශ්‍රී ලංකාව තුළ පැවැත්වීමට අමාත්‍යවරු දෙදෙනා එකඟ වූ අතර, ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර සුහද සබඳතා තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා සමීපව කටයුතු කිරීමට ද එකඟ වූහ.

දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවා වසර 75 ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන 75 වැනි සංවත්සරය 2022 වසරේ දී නිසි අයුරින් සැමරිය යුතු බවට අමාත්‍ය ඇන්ඩෲස් මැතිනිය සහ පීරිස් මැතිතුමා සිය එකඟතාව පළ කළහ.

 විදේශ අමාත්‍යංශය

කොළඹ

2021 දෙසැම්බර්  21 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close