ඕමානය සහ ශ්‍රී ලංකාව අතර පවත්නා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 40 ක් සපිරීම නිමිත්තෙන් ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද ගොල්ෆ් තරගාවලියේ දී ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය විදහා දැක්වේ

ඕමානය සහ ශ්‍රී ලංකාව අතර පවත්නා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 40 ක් සපිරීම නිමිත්තෙන් ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද ගොල්ෆ් තරගාවලියේ දී ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය විදහා දැක්වේ

ශ්‍රී ලංකාව සහ ඕමාන් සුල්තාන් රාජ්‍යය අතර පවත්නා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට මෙම වසරේ දී වසර 40 ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන සැමරුමට සමගාමීව ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ අංගයක් ලෙස ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මස්කට් හි ගාලා ගොල්ෆ් ක්ලබ් සමඟ එක්ව 2021 දෙසැම්බර් 11 වැනි දින ගොල්ෆ් තරඟාවලියක් සංවිධානය කළේය. ගාලා ගොල්ෆ් ක්ලබ් පරිශ්‍රයේ පැවති මෙම තරගාවලිය අතරතුර දී ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය තානාපති කාර්යාලය විසින් විදහා දක්වනු ලැබූ අතර සංචාරක ව්‍යාපාරය ආශ්‍රිතව ශ්‍රී ලංකාව තුළ දැකගත හැකි ආකර්ෂණීය ස්ථාන පිළිබඳ වීඩියෝ පටයක් ද ප්‍රදර්ශනය කරන ලදි.

සම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීම, සම්ප්‍රදායික මගුල් බෙර වාදනය සහ මස්කට් හි ශ්‍රී ලංකා පාසලේ සිසුන් ඉදිරිපත් කළ  හක්ගෙඩි වාදනයෙන් අනතුරුව ඕමාන් සුල්තාන් රාජ්‍යයේ සහ ශ්‍රී ලංකාවේ ජාතික ගී ගායනා කිරීමෙන් මෙම උත්සවය අරඹන ලදි.  දෙරට අතර පවත්නා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 40 ක් සපිරීම සංකේතවත් කිරීම සඳහා ඕමාන් සුල්තාන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මැතිතුමා ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ සහභාගිත්වයෙන් උත්සවාකාරයෙන් කේක් ගෙඩියක් කපන ලදි.

ඕමාන විදේශ අමාත්‍යංශයේ ගෝලීය කටයුතු දෙපාර්තමේන්තුවේ ප්‍රධානී සහ ඕමාන මානව හිමිකම් කමිටුවේ නියෝජ්‍ය සභාපති සහ තානාපති හුමයිඩ් අල් මානි මැතිතුමා, ඕමාන සුල්තාන් රාජ්‍යය සඳහා වන බෲනායි, පාකිස්තානය සහ දකුණු කොරියාව යන රටවල තානාපතිවරුන්, ගාලා ගොල්ෆ් ක්ලබ් හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ෆයිස් මොහොමඩ් රියාස් මහතා සහ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ දේශීය කළමණාකාර ෆයාස් තාහා මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් මෙම අවස්ථාව සඳහා විශේෂ ආරාධිතයන් ලෙස සහභාගි වූහ.

රැස්ව සිටි පිරිස ඇමතූ තානාපති අමීර් අජ්වාඩ් මැතිතුමා මිත්‍ර පාර්ශ්ව දෙක අතර පවත්නා සබඳතාව ප්‍රවර්ධනය කිරීමේ දී ක්‍රීඩාව තුළ ඇති  වැදගත්කම පිළිබඳව සඳහන් කළ අතර දෙරට අතර නිරන්තරයෙන් ක්‍රීඩා ක්‍රියාකාරකම් හුවමාරු කර ගැනීම පිළිබඳව ද අවධාරණය කළේ ය. දෙරට අතර පවත්නා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 40 ක් සපිරීම නිමිත්තෙන් මෙම මස අවසානයේ දී ඕමාන හොකී කණ්ඩායම් සමඟ සුහද තරගාවලි පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාවේ හොකී කණ්ඩායම් ඕමානයට පැමිණෙන බවද එතුමා නිවේදනය කළේය.

තරගාවලියේ ජය හිමි කරගත් අහමඩ් අල් ලම්කි මහතාට තානාපති අමීර් අජ්වාඩ් මැතිතුමා කුසලානයක් පිරිනැමූ අතර ඒ සඳහා ඕමාන විදේශ අමාත්‍යංශයේ ගෝලීය කටයුතු ප්‍රධානී තානාපති හුමයිඩ් අල් මානි මැතිතුමා ගාලා ගොල්ෆ් ක්ලබ් හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ෆයිස් මොහොමඩ් රියාස් මහතා සහ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ දේශීය කළමනාකාර ෆයාස් තාහා මහතා යනාදීහු එක්ව සිටියහ. මෙම ජයග්‍රාහකයාට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සඳහා  ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ අනුග්‍රහය යටතේ ව්‍යාපාරික පන්තියේ ගුවන් ටිකට් පතක් මෙන්ම කොළඹ එස්නා හොලිඩේස් සමාගමේ අනුග්‍රහයෙන් මූවන්පික් හෝටලයේ රාත්‍රී 2 ක් ගත කිරීම සඳහා නවාතැන් පිරිනැමිණි.

උත්සවය අතරතුර දී ‘So Sri Lanka’ තේමාව රැගත්  බැනර්, පෝස්ටර් සහ අත් පත්‍රිකා විදහා දක්වමින් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරන ලදී. ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ නියෝජිතයන් විසින් ශ්‍රී ලංකාවේ ආකර්ෂණීය සංචාරක පැකේජ පිළිබඳ පත්‍රිකා සහභාගී වූ පිරිස අතර බෙදා හරින ලදි.

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය, ශ්‍රී ලන්කන් ගුවන් සමාගම, ශ්‍රී ලංකාවේ එස්නා හොලිඩේස් සමාගම, කොළඹ මූවන්පික් හෝටලය, යුනයිටඩ් ටෙක්නිකල් සොලියුෂන්ස් සමාගම සහ ඕමානයේ බ්‍රෙඩ් බොක්ස් හා ඔජායේ අවන්හල මෙම වැඩසටහන සඳහා අනුග්‍රහය දැක්වී ය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

මස්කට්

2021 දෙසැම්බර්  මස 20 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close