ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය රාජ්‍ය සේවා ප්‍රතිඥාව ලබාදෙමින් 2022 නව වසර සඳහා රාජකාරි අරඹයි

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය රාජ්‍ය සේවා ප්‍රතිඥාව ලබාදෙමින් 2022 නව වසර සඳහා රාජකාරි අරඹයි

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලීය කාර්ය මණ්ඩලය විසින් 2022 ජනවාරි මස 02 වන දින තානාපති කාර්යාල පරිශ්‍රයේ පැවති උත්සවයකදී රාජ්‍ය සේවයට පක්ෂපාතී බවට දිවුරුම් දෙමින් 2022 නව වසර සඳහා රාජකාරි කටයුතු අරඹන ලදි.

ඕමාන සුල්තාන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ඕමාර් ලෙබ්බේ අමීර් අජ්වාඩ් මැතිතුමා විසින් ජාතික ධජය ඔසවනු ලැබූ අතර ජාතික ගීය ගායනයෙන් අනතුරුව උත්සවය ආරම්භ විය. ඉන් අනතුරුව මාතෘ භූමිය වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සහ සියලු දෙනා සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ද පැවැත්විණි.

මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ තානාපති අමීර් අජ්වාඩ් මැතිතුමා ශ්‍රී ලංකාව සහ ඕමානය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 40 වැනි සංවත්සරය සනිටුහන් කළ 2021 වර්ෂයේ දී ශ්‍රී ලංකා දූත මණ්ඩලය අත්කරගත් ඵලදායී ජයග්‍රහණ පිළිබඳව අවධාරණය කළේය.

ශ්‍රී ලංකාව සහ ඕමානය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 40 වැනි සංවත්සරය සැමරීම අරමුණු කර ගනිමින් වැඩසටහන් මාලාවක් සංවිධානය කිරීම සහ පසුගිය වසර තුළ විවිධ ක්ෂේත්‍රවල ඉලක්ක සපුරා ගැනීම සඳහා වසංගත අභියෝග මධ්‍යයේ දී දූත මණ්ඩලයේ සාමාජිකයින් දැක්වූ නොමඳ සහයෝගය වෙනුවෙන් තානාපතිවරයා ඔවුන් වෙත සිය ස්තුතිය පුද කළේය. ජනතාව තෘප්තිමත් වන පරිදි නිලධාරීන් විසින් තම රාජකාරිය ඉටුකිරීමේ වැදගත්කම සහ කැපවීමෙන් යුතුව සේවය කිරීමෙන් රටට ප්‍රතිලාභ ගෙන ඒමේ වැදගත්කම ද තානාපතිවරයා මෙහි දී අවධාරණය කළේය.

සිය ප්‍රදූත සහ ශ්‍රමික වැඩකටයුතු සඳහා නව වසරේ පළමු රාජකාරී දින දූත මණ්ඩලය වෙත පැමිණි ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයින් මෙන්ම ඕමාන ජාතිකයින් සහභාගී වූ මෙම උත්සවය අවසානයේ දී ශ්‍රී ලාංකීය සම්ප්‍රදායික උදෑසන ආහාර වේලක් ඔවුන් සියලු දෙනා වෙත පිරිනමන ලදි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

මස්කට්

2022 ජනවාරි 05 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close