ඕමානයේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මැතිතුමා යේමන් ජනරජයේ අනේවාසික තානාපතිවරයා වශයෙන් සිය අක්තපත්‍ර පිළිගන්වයි

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මැතිතුමා යේමන් ජනරජයේ අනේවාසික තානාපතිවරයා වශයෙන් සිය අක්තපත්‍ර පිළිගන්වයි

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති ඕමාර් ලෙබ්බේ අමීර් අජ්වාඩ් මැතිතුමා යේමන් ජනරජය සඳහා ශ්‍රී ලංකාවේ අතිවිශේෂ සහ පූර්ණ බලැති අනේවාසික තානාපතිවරයා ලෙස අක්තගන්වනු ලබමින්, 2021 අගෝස්තු 16 වැනි දින ජනාධිපතිවරයාගේ තාවකාලික නිවස වන රියාද්හි ජනාධිපති මන්දිරයේ දී යේමන් ජනරජයේ ජනාධිපති අබ්ද් රබ්බු මන්සූර් අල් හදී මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වීය.

මෙම අක්තපත්‍ර පිළිගැන්වීමේ උත්සවය සෞදි අරාබියේ රියාද්හි පිහිටි ජනාධිපති මන්දිරයේ දී යේමන් ජනරජයේ විදේශ අමාත්‍ය අහමඩ් අවාඩ් බින් මුබාරක් මැතිතුමා සහ ජනාධිපති සංධාන අංශයේ ප්‍රධානී මොහොමඩ් හජ් මහෆවුද් මහතා මෙන්ම, යේමන් ජනරජයේ රජයේ අනෙකුත් ඉහළ නිලධාරීන්ගේ ද සහභාගීත්වයෙන් යුතුව පැවැත්විණි.

ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ඉන්දුනීසියාව, තුර්කිය සහ මොරිටේනියාව යන රටවල තානාපතිවරු ද එදිනම යේමනයේ ජනාධිපතිවරයා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වූහ.

ජනාධිපති හදී මැතිතුමා සමඟ පැවති හමුවේ දී, තානාපති අමීර් අජ්වාඩ් මැතිතුමා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ශ්‍රී ලංකාවේ ජනතාවගේ උණුසුම් ආචාරය හා සුබ පැතුම් ජනාධිපති හදී මැතිතුමා සහ යේමනයේ මිත්‍රශීලී ජනතාව වෙත පිරිනැමීය. ශ්‍රී ලංකාව සහ යේමනය අතර පැවති දිගු කාලීන ඓතිහාසික සබඳතා සිහිපත් කරමින්, යේමනයේ ජනතාවගේ සාමය හා සමෘද්ධිය සඳහා තානාපති අමීර් අජ්වාඩ් මැතිතුමා සිය සුභ පැතුම් එක් කළේය. දෙරට අතර පවතින ප්‍රීතිමත් හා සුහද සබඳතා තවදුරටත් ඉහළ නැංවීම සඳහා වන ශ්‍රී ලංකාවේ කැපවීම ද එතුමා යළි තහවුරු කළේය.

ජනාධිපති හදී මැතිතුමා තානාපති අමීර් අජ්වාඩ් මැතිතුමා සාදරයෙන් පිළිගත් අතර, යේමන් ජනරජයේ ශ්‍රී ලංකාවේ අනේවාසික තානාපතිවරයා ලෙස එතුමාගේ නව පත්වීම වෙනුවෙන් සියලු සාර්ථකත්වය ප්‍රාර්ථනා කළේය. එතුමා ජනාධිපතිතුමාට, අගමැතිවරයාට සහ ශ්‍රී ලාංකික ජනතාවට සිය උණුසුම් ආචාරය හා සුබ පැතුම් පිරිනැමීය. යේමනයේ රජය සහ ජනතාව වෙත ශ්‍රී ලංකාව දක්වන සහයෝගීතාව ජනාධිපති හදී මැතිතුමා අගය කළ අතර, අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍රයන්හි අඛණ්ඩ සහයෝගීතාව තහවුරු කළේය.

අක්තපත්‍ර පිළිගැන්වීමේ උත්සවයට පෙර, රියාද් හි යේමන තානාපති කාර්යාලයේ දී තානාපති අමීර් අජ්වාඩ් මැතිතුමා විසින් යේමනයේ විදේශ අමාත්‍ය අහමඩ් අවාඩ් බින් මුබාරක් මැතිතුමා වෙත සිය අක්තපත්‍රවල විවෘත පිටපත් පිරිනමන ලදී. එම රැස්වීමේ දී, දෙරට අතර සමීප සබඳතා තවදුරටත් ප්‍රවර්‍ධනය කළ හැකි ක්‍රම සහ විධි පිළිබඳව ඔවුහු ගවේෂණය කළහ. විදේශ අමාත්‍ය කාර්යාලයේ අධ්‍යක්‍ෂ තානාපති අබ්දෙල්කාඩර් මොහොමඩ් හදී මැතිතුමා සහ විදේශ අමාත්‍ය කාර්යාලයේ ආසියානු කටයුතු භාර නිලධාරී ආචාර්ය අලි අහමඩ් ෂග්ලා මහතා ද මෙම හමුවට සම්බන්ධ වූහ.

අක්තපත්‍ර පිළිගැන්වීමේ උත්සවයට අතිරේකව, තානාපති අමීර් අජ්වාඩ් මැතිතුමා යේමනයේ උපදේශක කවුන්සිලයේ (මජිඩ් අල් සූරා) සභාපති ආචාර්ය අහමඩ් උබයිඩ් බින් ඩග්ර් මහතා ද හමු වූ අතර, ඔහු යේමනයේ දැනට ක්‍රියාත්මක සාම වැඩපිළිවෙල පිළිබඳව තානාපතිවරයා දැනුවත් කළේය. ද්විපාර්ශ්වික මෙන්ම බහුපාර්ශ්වික වශයෙන් ද අන්‍යෝන්‍ය සහයෝගීතාව ඉහළ නැංවීම පිළිබඳව ද ඔවුහු සාකච්ඡා කළහ.

ඕමාන් සුල්තාන් රාජ්‍යය සඳහා වත්මන් ශ්‍රී ලංකා‍ අති විශේෂ හා පූර්ණ බලැති තානාපතිවරයා ලෙස කටයුතු කරන තානාපති අමීර් අජ්වාඩ් මැතිතුමා, වසර 23 ක ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික රාජ්‍යතාන්ත්‍රික සේවාවක් සහිත වෘත්තීය රාජ්‍යතාන්ත්‍රිකයෙකි. වර්තමාන තනතුර ලැබීමට පෙර එතුමා සිංගප්පූරුවේ සහ බෲනායි දරුස්සලාම්හි ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා ලෙස කටයුතු කළේය. එතුමා 2015 සිට 2017 දක්වා ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයේ නැගෙනහිර ආසියා සහ හා පැසිෆික් අංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ද කටයුතු කළේය. එතුමාගේ රාජ්‍යතාන්ත්‍රික ජීවිතය තුළදී ජිනීවාහි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේ උපදේශක (මානව හිමිකම්), ඉන්දියාවේ (චෙන්නායි) පිහිටි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය (දේශපාලන) සහ සෞදි අරාබියේ රියාද් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම්/චාන්සරි ප්‍රධානී ලෙස කටයුතු කොට ඇත.

තානාපති අමීර් අජ්වාඩ් මැතිතුමා, කොළඹ විශ්වවිද්‍යාලයෙන් නීතිය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය (එල්.එල්.එම්.) සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය (බී.ඒ.) ද ලබා ඇත. 1997 වසරේ දී එතුමා ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතීඥවරයෙකු ලෙස නීතිඥ මණ්ඩලයට ඇතුළත් කරන ලදී.

අක්තපත්‍ර පිළිගැන්වීමේ උත්සවය අවසානයේ දී, රියාද්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තානාපති අමීර් අජ්වාඩ් මැතිතුමා සහ එතුමාගේ භාර්යාව වන අස්මියා අමීර් අජ්වාඩ් මැතිනිය වෙත පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කළේය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

මස්කට්

2021 අගෝස්තු 27 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close