
ඔස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාලස් 2025 ජුනි 03 වැනි දින ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත විය.
මෙම සංචාරය අතරතුර, ඔස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් යන හමුවිය.
ජනාධිපතිවරයා සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා සමඟ කළ මෙම ආචාරශීලී හමුවේදී, දේශපාලන, ආර්ථික සහ ආරක්ෂක ක්ෂේත්‍ර ඇතුළු ක්ෂේත්‍ර කිහිපයකින් ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන ද්විපාර්ශ්වික සම්බන්ධතාව ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු විය. දෙරට අතර පවතින ශක්තිමත් පුද්ගල-පුද්ගල සම්බන්ධතා ද්විපාර්ශ්වික සම්බන්ධතාවේ වඩාත් කැපී පෙනෙන ලක්ෂණයක් වන බව විදේශ අමාත්‍ය හේරත් සඳහන් කළේය. ශ්‍රී ලංකාවේ ආර්ථිකය පුනර්ජීවනය කිරීම සඳහා තීරණාත්මක සාධකයක් ලෙස සංචාරක කර්මාන්තයේ වැදගත්කම අවධාරණය කරමින් අමාත්‍ය හේරත් ඔස්ට්‍රේලියානු සංචාරකයින්ට ශ්‍රී ලංකාව ප්‍රියජනක ගමනාන්තයක් ලෙස සැලකීමට ආරාධනා කළේය.
ස්ථාවරත්වය, සංවර්ධනය සහ කලාපීය සහයෝගීතාව ඉදිරියට ගෙන යෑමේදී ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය මාලස් අගය කළේය. මෙම ක්ෂේත්රවලදී ශ්‍රී ලංකාව දරනු ලබන ප්රයත්න සඳහා ඔස්ට්‍රේලියාව අඛණ්ඩ සහයෝගය ලබා දෙන බවට ඔහු නැවත තහවුරු කළ අතර කලාපයේ සාමය, ආරක්ෂාව සහ සමෘද්ධිය ප්‍රවර්ධනය කිරීම සඳහා තිරසර සහයෝගීතාවේ වැදගත්කමද අවධාරණය කළේය.
නියෝජ්‍ය අගමැති රිචඩ් මාල්ස්ට ගෞරව දැක්වීම සඳහා ඔස්ට්‍රේලියානු මන්දිරයේ පැවැති විශේෂ දිවා භෝජන සංග්‍රහයකට අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය සහභාගී වූ අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඇය පිළිගනු ලැබුණි. රැස්ව සිටි පිරිස අමතමින් අගමැතිනි අමරසූරිය ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ආර්ථික හවුල්කාරිත්වය ඉදිරියට ගෙන යාමේ වැදගත්කම අවධාරණය කළාය. ඔස්ට්‍රේලියාව සමඟ වෙළෙඳ හා ආර්ථික සබඳතා තවදුරටත් විවිධාංගීකරණය කිරීම සහ වර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව දක්වන දැඩි උනන්දුවද ඇය අවධාරණය කළාය.
නියෝජ්‍ය අගමැති සහ ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාල්ස්, නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය අරුණ ජයසේකර සමඟ ඵලදායී ද්විපාර්ශ්වික සාකච්ඡාවක්ද පැවැත්වූයේය. සමුද්‍රීය ආරක්ෂාව සහ ඉන්දියානු සාගරයේ අන්තර්ජාතික අපරාධ මැඩපැවැත්වීමේ ප්රයත්න කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, දෙරට අතර ශක්තිමත් සහ අඛණ්ඩ ආරක්ෂක සහයෝගීතාව මෙම රැස්වීමේදී අවධාරණය කෙරිණි. විකාශනය වන සමුද්‍රීය අභියෝග ඵලදායී ලෙස විසඳීම සඳහා බෙදාගත් සම්පත්, බුද්ධි අංශ සහ හොඳම භාවිතයන් හරහා කලාපීය සහ ජාත්‍යන්තර හවුල්කරුවන් අතර සහයෝගීතාව වැඩි දියුණු කිරීමේ තීරණාත්මක වැදගත්කම දෙපාර්ශ්වයම හඳුනා ගත්හ. කලාපීය රාමු තුළ සහයෝගීතාව වර්ධනය කිරීමට සහ දැනුම හුවමාරුව සහ ශක්‍යතා වර්ධනය සඳහා ඒකාබද්ධ ප්රයත්න පුළුල් කිරීමට ඔවුහු තවදුරටත් එකඟ වූහ.
නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සමඟ ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය කාර්යාලයේ, ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සහ ඔස්ට්‍රේලියාවේ විදේශ කටයුතු සහ වෙළෙඳ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පිරිසක්ද මෙම සංචාරයට එක්ව සිටියහ.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ
2025 ජූනි 03 වැනි දින




