එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වැනි සැසිවාරය අමතා අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් කරන ලද කථාව -2018 සැප්තැම්බර් 25 වැනිදා, නිව්යෝර්ක්

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වැනි සැසිවාරය අමතා අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් කරන ලද කථාව -2018 සැප්තැම්බර් 25 වැනිදා, නිව්යෝර්ක්

3-1

ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි !

ගෞරවනීය සභාපතිතුමනි,

ගෞරවනීය මහලේකම්තුමනි,

සියලුම ගෞරවනීය රාජ්‍ය නායකවරුනි,

සියලුම රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතවරුනි,

මිත්‍රවරුනි,

මා ඉතාමත් සතුටු වෙනවා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හැත්තෑතුන්වැනි සමුළුවට ශ්‍රී ලංකාවේ නියෝජිතයා වශයෙන් සිවුවැනි වරටත් සහභාගී වීමට ලැබීම පිළිබඳව. ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටක් වශයෙන්, එහි තිබෙන්නා වූ සියලු එකඟතාවයන්, ප්‍රඥප්තීන්, සම්පූර්ණ වශයෙන්ම අනුගමනය කිරීමට, ක්‍රියාත්මක කිරීමට පූර්ණ වශයෙන් බැඳී තිබෙන රටක්.

ශ්‍රී ලංකාව පසුගිය වසර තුනහමාරකට වැඩි කාලයක්, එහි රාජ්‍ය නායකයා වශයෙන් කටයුතු කිරීමේදී මා, ලැබූ ප්‍රගතිය, රජයේ දියුණුව අද අපිට ඉතාමත් සතුටු වෙන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා වශයෙන් 2015 ජනවාරි මාසයේ මා බලයට පත් වන විට ජනතාවගේ ඡන්දයෙන්, මගේ රටේ විධායක ජනාධිපති ධුරයේ, මා දරන ධුරයේ තිබූ අසීමිත බලතල, එය රජෙකුගේ බලතලවලට වඩා අධිරාජයකුගේ බලතල කියා කියන්නට පුළුවන්. මේ යුගය තුළ, මිනිසෙක් විසින්, බලයට පත්වූ රාජ්‍ය නායකයෙක් විසින් කළ යුතු පුළුල්තම යුග මෙහෙවර ඉටුකරමින් එය රජෙකුගේ නොව අධිරාජයකුගේ මා දරන්නා වූ තනතුරේ තිබූ බලතල ඉවත් කර ඒවා ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට පැවරූ බව මා මෙහිදී සඳහන් කරන්නේ ඉතාමත් සතුටෙන්.

ගෙවී ගිය වසර තුනහමාරක කාලය තුළ, මගේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කර තිබෙනවා. මානව හිමිකම් ශක්තිමත් කර තිබෙනවා. මිනිසුන්ගේ නිදහස ශක්තිමත් කර තිබෙනවා. මාධ්‍ය නිදහස පුළුල් ලෙස ශක්තිමත් කර තිබෙනවා. අධිකරණයේ ස්වාධීනත්වය ශක්තිමත් කර තිබෙනවා. ඒ නිසා, මීට වසර තුනහමාරකට පෙර තිබූ ශ්‍රී ලංකාව නොවෙයි, අද තිබෙන්නේ ඊට වඩා වෙනස් වූ මානවවාදී සමාජයක්, පරිපූර්ණ වූ සමාජයක ජීවත්වන ජන සමාජයක ශ්‍රී ලංකාවක් කියලා මට මෙහිදී විශේෂයෙන් සඳහන් කරන්න පුළුවන්.

ඒ වගේම, මෙහිදී මා සඳහන් කරන්නට ඕනෑ අපි එක්සත් ජාතීන්ගේ සංවිධානය වශයෙන් කටයුතු කිරීමේදී, එහි සාමාජික රටවල් වශයෙන් අපගේ තිබෙන්නා වූ වගකීම් සහ යුතුකම්වලදී ලෝකය තුළ ඇති වන්නා වූ, ජාත්‍යන්තරයේ ඇති වන්නා වූ දේශපාලන ප්‍රවණතාවයන්, ආර්ථික අසමානතාවයන්, මනුෂ්‍යත්වයට අභියෝග වන්නා වූ කාර්යයන්, පුළුල් ලෙස අධ්‍යයනය කිරීමත් ඒවාට මුහුණදීමත් අවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම, ජාත්‍යන්තර දේශපාලන ප්‍රවණතාවයන් පිළිබඳව කතා කරන විට, අද ලොව පුරා සරණාගතයින් විශාල වශයෙන් සිටිනවා. සරණාගතයින්ගේ ප්‍රශ්නය ඉතාමත් පුළුල් ප්‍රශ්නයක් බව අපි දන්නවා. ඒ නිසා, ඒ සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ඊට අයත් රටවල්, ඒ වගේම විවිධ සංවිධාන, ඒ වෙනුවෙන් කරන්නා වූ විවිධ මෙහෙවර මීට වඩා පුළුල් විය යුතුයි, ශක්තිමත් විය යුතුයි කියා මා විශ්වාස කරනවා.

ඒ වගේම, ශ්‍රී  ලංකාව, විදේශ ප්‍රතිපත්තිය තුළ, මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන රටක්. ශ්‍රී ලංකාව නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකයෙක්. 1976 යේ          ශ්‍රී ලංකාවේ තමා නොබැඳි ජාතීන්ගේ ඉතාමත් සාර්ථක සමුළුවක් පැවැත්වුණේ. නොබැඳි විදේශ ප්‍රතිපත්තිය තුළ, ලෝකයේ සෑම රාජ්‍යයක්ම, සෑම ජාතියක්ම, අපේ මිත්‍ර ජාතීන් සහ මිත්‍ර රාජ්‍යයන් වශයෙන් අපි සුහදතාවයෙන් සලකන්නේ. මා දන්නා පරිදි මේ යුගයේ, ශ්‍රී ලංකාවට ලෝකයේ කිසිදු සතුරෙක් නොමැති බව විශේෂයෙන් මා සඳහන් කරන්නට ඕනෑ. ඒ නිසා අපි ඒ පිළිබඳව සතුටු වෙනවා.

ජාත්‍යන්තර දේශපාලන ප්‍රවණතාවයන් පිළිබඳව කතා කිරීමේදී, විශේෂයෙන්ම පලස්තීන ජනතාවගේ ප්‍රශ්නය පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ලෝකයේ බලවතුන් මේ දැනට වඩා පුළුල් අවබෝධයකින් සහ අවධානයකින් කටයුතු කළ යුතුයි කියා මා විශ්වාස කරනවා. පලස්තීන ජනතාවගේ විමුක්ති සටනට ශ්‍රී ලංකා රජය සෑමදාම සහයෝගය දුන් බව විශේෂයෙන් මා මෙහිදී සඳහන් කරන්නට ඕනෑ. ඒ නිසා ඒ තුළ සිදුවන්නා වූ විවිධ අමානුෂික තත්ත්වයන් සැලකිල්ලට අරගෙන පලස්තීන ජනතාවගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින්නට එක්සත් ජාතීන්ගේ සංවිධානයත් ඒ වගේම සියලුම රාජ්‍යයනුත් දැනට වඩා මානුෂීය වශයෙන් පුළුල් වැඩ කොටසක් කළ යුතුයි කියා මා විශ්වාස කරනවා.

අපිට ලෝකයේ තිබෙන අනෙකුත් විවිධ මූලික වූ ප්‍රශ්න ගත්තත්, දුගීභාවය පුළුල් ප්‍රශ්නයක් බව ඔබ අප දන්නවා. දුගීභාවය පිළිබඳව තිබෙන්නා වූ තත්ත්වයන් සැලකිල්ලට ගැනීමේදී, එක්සත් ජාතීන්ගේ සංවිධානය දැනට වඩා පුළුල් වැඩ කොටසක් ලෝක ප්‍රජාව වෙනුවෙන් ඉටු කළ යුතුයි කියා මා විශ්වාස කරන්නේ. දුගීභාවය පිළිබඳව කතා කරන විට, ලෝක ජනගහණයෙන් කෝටි සිය ගණනක් බඩගින්නේ සිටින බව අපි දන්නවා. කාලගුණික, දේශගුණික විපර්යාස, ආදායම්වල තිබෙන විෂමතාවයන්, රාජ්‍ය පාලනයන්හි තිබෙන සාමාන්‍ය පොදු ජනතාව පිළිබඳව සොයාබැලීම්වල අවමවීම්, මේ තුළ පුළුල් ප්‍රශ්න බවට පත් වී තිබෙනවා. ඒ නිසා දුගීභාවය තුරන් කරන්න, ඒ වගේම කාලගුණික දේශගුණික විපර්යාස තුළ ඇති වන්නා වූ ප්‍රතිඵලයන්වලදී අද ලෝකය මුහුණ දී තිබෙන අභියෝගවලදී ප්‍රධාන වශයෙන්ම ආර්ථිකයේ ඇති වන කඩාවැටීම් තුළ, දුගීභාවය වර්ධනය වන්නට එය ප්‍රධාන හේතුවක් වී තිබෙනවා. ඒ නිසා දුගීභාවය පිළිබඳව කතාකිරීමේදී, කාලගුණික දේශගුණික විපර්යාසයන් දැඩි ලෙස ඇතිවන රටවල්වලට වඩාත් එහි ජනජීවිතය යථාවත් කිරීම සඳහා සහයෝගය දීම, උදව් දීම ඉතාමත් අත්‍යවශ්‍ය වෙනවා. මෙහිදී මා සඳහන් කරන්නට ඕනෑ ජාත්‍යන්තරය, ලෝකය වෙලාගත් විවිධ ප්‍රශ්නවලදී දුගීභාවය මූලික වෙනවා වගේම, අවිආයුධ ජාවාරම, ඒ වගේම මත්ද්‍රව්‍ය ජාවාරම ඒ වගේම නීතිවිරෝධී ඖෂධ ජාවාරම් අද මානව සමාජයට පුළුල්, බරපතල ප්‍රශ්න බවට පත් වී තිබෙනවා. ඒ නිසා මේ සියලු ප්‍රශ්නවලදී, මූලික වශයෙන්ම මා සතුටු වෙනවා අවධානය යොමු කිරීමේදී, ඊයේ උදේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලිකත්වය තුළ, විශේෂයෙන්ම, ඇමෙරිකානු ජනාධිපති ගරු ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති, මත්ද්‍රව්‍ය පිළිබඳව අනුගමනය කළ යුතු, නීතිවිරෝධී මත්ද්‍රව්‍යයන් සම්බන්ධයෙන් අනුගමනය කිරීමට එකඟතාවය ඇති කරගත්තා වූ ගෝලීය වශයෙන් ක්‍රියාත්මක කරන වැඩසටහන අප ඉතාමත් සතුටු වෙනවා. ඒ වගේම මත්ද්‍රව්‍ය මර්දනය සඳහා, දැනට වඩා පුළුල් වැඩ කොටසක් සෑම රටක්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රමුඛත්වය දී ඉටු කළ යුතුයි කියා මා විශ්වාස කරනවා.

ඒ වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ, කෙරෙන්නා වූ පුළුල් මෙහෙවර තුළ, ජාත්‍යන්තර වශයෙන්, ජාතික වශයෙන් එක් එක් රටවල්වල, සාමාජික රටවල්වල, මුළුමහත් මානව ප්‍රජාවගේ මෙන්ම ලෝකයේ සියලු සත්ත්වයාගේ, ගසකොළ, ඇළදොළ, සතාසිවුපාවා, මහපොළොව, හිරුඑළිය ඒ සියල්ල පිළිබඳව අවධානය යොමු කිරීමේදී, බෑන් කී මූන් හිටපු මහලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක කළ, කාලගුණික දේශගුණික විපර්යාස පිළිබඳ පැරිස් සමුළුවේ එකඟතාවයන්, ප්‍රඥප්තීන් ක්‍රියාත්මක කිරීම සඳහා අපි සෑම කෙනෙක්ම පුළුල්ව කටයුතු කළ යුතුයි කියා මා විශ්වාස කරනවා. මෙහිදී ශ්‍රී ලංකාව ප්‍රධාන වශයෙන්ම, සාමාජික රටක් වශයෙන් මේ කාර්යයේදී අපි ඉහළම ප්‍රමුඛතාවයක් දී කටයුතු කරන බව සඳහන් කරන්නට ඕනෑ.

ඒ වගේම, මගේ රටේ, මගේ ආදරණීය මාතෘභූමියේ අභ්‍යන්තර තත්ත්වයන් පිළිබඳව කතා කරන විට, මා මුලින් සඳහන් කළ ආකාරයට, ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, මූලික අයිතිවාසිකම්, මාධ්‍ය නිදහස, මේ සියල්ල පුළුල් ලෙස ශක්තිමත් කර තිබෙනවා වගේම, මීට අවුරුදු හතළිහකට පෙර අපේ රට තිබුණු  තැනත්, දීර්ඝ කාලයක්, අවුරුදු තිහකට ආසන්න කාලයක් තිබුණු ත්‍රස්තවාදී යුද්ධයත් පිළිබඳව අවධානය යොමු කිරීමේදී, අපේ රටේ එල්ටීටීඊ ත්‍රස්තවාදී යුද්ධය අවසන් වී දැන් අවුරුදු දහයක් වෙනවා. ඒ අවුරුදු දහය තුළ අපි රට තුළ පුළුල් වෙනස්කම් රාශියක් කරලා තිබෙනවා. විශේෂයෙන්ම මගේ රජය, ගත වූ වසර තුනහමාරක කාලය තුළ විශේෂයෙන්ම පශ්චාත් යුද සමයක කළ යුතු කාර්යයන් අපි පුළුල් ලෙස ඉෂ්ට කර තිබෙනවා. ජාතික සමගිය, සංහිඳියාව, නැවත යුද්ධයක් ඇතිවීම වැලැක්වීම එහි අරමුණු කරගත් පුළුල් කාර්යයන් අපි විශේෂයෙන්ම ඉෂ්ට කරලා තිබෙනවා, ඉෂ්ට කරමින් යනවා. ඒ නිසා අපිට, විශේෂයෙන්ම, මානව හිමිකම් පිළිබඳ ප්‍රශ්නයේදී අපි ඒ පුළුල් වගකීම් ඉටු කර, ඉටුකරමින් තිබෙන රටක් විදියට සෑම රාජ්‍යයකමත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේත් සහයෝගය අපේ ඒ වැඩ පිළිවෙළට තවතවත් මා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

ලෝකයේ ඉතාමත්ම ප්‍රබල ත්‍රස්තවාදී සංවිධානයක් ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා විසින් පරාජය කරනු ලැබුවා. ඒ නිසා තමයි අද ශ්‍රී ලංකාව බෙදෙන්නේ නැතිව, කැඩෙන්නේ නැතිව, ස්ථිර සාමයක් පවතින රටක් වශයෙන් පවතින්නේ. ඒ නිසා, ශ්‍රී ලංකාවේ ස්ථිර සාමයක් ඇතිකිරීම සඳහා අපේ ආරක්ෂක හමුදා ප්‍රබල ත්‍රස්තවාදී සංවිධානයක් පරාජය කරමින් කරනු ලැබූ ඒ යුග මෙහෙවර මෙහිදී මා ගෞරවයෙන් සිහිපත් කරනවා වගේම, මගේ ආරක්ෂක හමුදාවලට මා ස්තූතිවන්ත වෙනවා රටට සාමය ඇති කරන්න, ඒකීයභාවය ශක්තිමත් කරන්න ඒ කරන ලද මහා කැපවීම පිළිබඳව. අපි යුද්ධය අවසන් වෙලා වසර දහයක් ගතවන අවස්ථාවක මූලික වශයෙන්ම ශ්‍රී ලංකාව පිළිබඳව, මා ගෞරවනීය සියලු ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා අලුත් විදියට මගේ මාතෘභූමිය දෙස බලන්න කියා. අලුත් අදහස්වලින් මගේ රට දෙස බලන්න කියා. ප්‍රබල යුද්ධයක් තිබී, අවසන් වී සාමකාමී රටක, ජාතික සංහිඳියාව ශක්තිමත් කරන රටක, ජාතික සමගිය ශක්තිමත් වූ රටක, නැවත යුද්ධයක් ඒම වැලැක්වීමට සියලු කටයුතු කර ඇති රටක, මානව හිමිකම් පුළුල් ලෙස ආරක්ෂා කරන රටක, ආර්ථික දියුණුව සමෘද්ධිය හෙට දවස වෙනුවෙන් ඔබ සියලු දෙනාම, අලුත් අදහස් ඇතිව, නව සිතිවිලි සමඟ මගේ උතුම් මාතෘභූමිය දෙස බලා අපට සහයෝගය දෙන්න කියා අපි ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. අපේ තිබෙන්නා වූ ප්‍රශ්න අපට විසඳා ගන්න ඉඩ දෙන්න කියා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. රටක ස්වාධීනත්වය ඉතාමත් වැදගත් වෙනවා. ඒ ස්වාධීනත්වය ආරක්ෂා කරමින්, අපේ රටේ අප විසින් කරන්නා වූ මානුෂීය මෙහෙවර, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේ මෙහෙවර, එම පුළුල් කාර්යයන් සඳහා ඔබ සියලු දෙනාගේම සහයෝගය ඉල්ලා සිටිනවා. අපිට අපේ ප්‍රශ්න විසඳා ගන්න අප විසින් කර ඇති කැපවීම් සහ නව වැඩ පිළිවෙළ ඉතාමත් වැදගත් වෙනවා. කිසිදු විදේශ බලපෑම්, විදේශ තර්ජන ස්වාධීන රටක් විදියට අපට අවශ්‍ය වන්නේ නෑ. ඒ නිසා අපි සෑම අතින්ම ශක්තිමත් රටක් විදියට සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ අපට තිබෙන්නා වූ ප්‍රශ්න විසඳා ගන්න අපට ඉඩ දෙන්න, ස්වාධීන රටක් විදියට අපේ රටේ අයිතිය තහවුරු කරගෙන ඉදිරියට යන්න. ඒ නිසා අපි මූලික වශයෙන්ම මේ තිබෙන තත්ත්වයන් සැලකිල්ලට ගැනීමේදී, ශ්‍රී ලාංකිකයින් වශයෙන් විසඳාගත යුතු ප්‍රශ්න අප විසින් විසඳා ගන්නවා වගේම, ඒ සඳහා ඔබේ සහයෝගය ගෞරවනීය ලෙස ඉල්ලා සිටිනවා වගේම මගේ උතුම් මාතෘභූමිය තුළ, ජීවත් වන්නා වූ ජනතාවගේ සැකය, බිය, අවිශ්වාසය තුරන් කරමින්, සියලු ජාතීන් තුළ ශක්තිමත් සමගියක් ගොඩනඟමින් අප විසින්, රජය විසින් ගෙන යන ඒ වැඩ පිළිවෙළට ඔබ සෑම දෙනෙකුගේම සහයෝගය අපි ඉල්ලා සිටිනවා. හෙට දවසේ, විශේෂයෙන්ම, ශ්‍රී ලංකාවේ වගේම ලොව පුරා සිටින, මා පෙර කී පරිදි, දුගී දුප්පත් ජනතාවගේ ප්‍රශ්නවලට ප්‍රමුඛත්වයක් දීම අවශ්‍ය වෙනවා. නව පරපුරේ නව සිතුම් පැතුම් සහ අදහස් අනුව ඔවුන්ගේ ප්‍රශ්නවලට අප විසැඳුම් දිය යුතු වෙනවා.

ඒ නිසා මේ සියලු තත්ත්වයන් සැලකිල්ලට ගෙන කටයුතු කිරීමේදී, ශ්‍රී ලංකාව වශයෙන් මා අවසාන වශයෙන් කියන්නට ඕනෑ, බුදුන් වහන්සේ දේශනා කළ බෞද්ධ දර්ශනයේ, ත්‍රිපිටකයේ, සංයුක්ත නිකායේ, 36 (6) කොටසේ, සල්ල සූත්‍රයේ සඳහන් වෙනවා, යම් පුද්ගලයකුගේ ශරීරයේ උලක් හෝ කටුවක් ඇනුණොත් ඒ උල සහ කටුව ඇනීමෙන් ඇතිවන වේදනාව වගේම ඒ උලක් සහ කටුවක් ඇනුණා කියා මතක් වන විට එයින් ඇති වන කම්පාව තවත් වේදනාවක්. ඒ අනුව එය වේදනා දෙකක්. උල ඇනීමේ වේදනාව සහ උල ඇනීම මතක්වීම නිසා ඇතිවන වේදනාව. ඒ නිසා ඒ සියලු වේදනාවන් ඒ ඇනුණු පුද්ගලයාටයි. ශ්‍රී ලංකාවත් ඒ තිබෙන්නා වූ  ප්‍රශ්නවල, විශේෂයෙන්ම දීර්ඝ කාලීන යුද්ධයක ඒ ඇති වූ අභාග්‍යසම්පන්න තත්ත්වයේ අත්දැකීම්වලදී, ඒ ඇනුණු වේදනාවන් දෙකම ශ්‍රී ලංකාවේ ජනතාවටයි. ඒ නිසා, වෙනත් අයට නොව රටේ ජනතාවට ඒ ඇතිවී තිබෙන්නා වූ වේදනාවන් සමනය කරමින් සාධාරණ සමාජයක,  යුක්තිගරුක සමාජයක, මානවවාදය ශක්තිමත් කරන සමාජයක, ප්‍රජාතන්ත්‍රවාදී පුළුල් යුග මෙහෙවරක් කරන සමාජයක උතුම් රටක් ලෙස මගේ ජනතාවට සහ ඉදිරියට යන්නට රටට ආර්ථික සමෘද්ධිය ඇතිව ඔබ සියලු දෙනාගේම සහයෝගය දෙන්න කියා ගෞරවයෙන් ඉල්ලා සිටිමින් මගේ කතාව අවසන් කරනවා.

ස්තූතියි. තෙරුවන් සරණයි !

Print Friendly, PDF & Email
Please follow and like us:

Close