එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් 2024 වර්ෂයේ සැප්තැම්බර් මස 01 දින සිට දෙසැම්බර් මස 31 වැනි දින දක්වා ප්‍රකාශ කර ඇති පොදු සමා කාලය වෙනුවෙන් ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරල් කාර්යාලය සක්‍රීයව තම දායකත්වය ලබා දෙමින් සහාය අවශ්‍යය ශ්‍රී ලාංකිකයින් වෙත සේවාවන් ලබා දීම නොකඩවා සිදුකරගෙන යනු ලබන බව සතුටින් දන්වා සිටිමු.
ඒ අනුව 2024 වර්ෂයේ සැප්තැම්බර් මස 01 දින සිට ඔක්තෝබර් මස 31 වැනි දින දක්වා අපගේ කොන්සල් ජනරාල් කාර්යාලයෙන් සපයා ඇති සේවාවන් පිළිබඳ දත්ත පහත පරිදි ඉදිරිපත් කරමු;
- සාමාන්‍ය කොන්සියුලර් වේලාවන් සහ විශේෂ පොදු සමා කාල සේවාවන්වලදී ශ්‍රී ලාංකිකයින් 8513ක් සඳහා සේවා සපයා ඇත.
- නව ගුවන් ගමන් බලපත්‍ර සඳහා අයදුම්පත් 1128ක් භාරගෙන ඇත.
- පොදු සමා කාලය තුළ මෙරටින් පිටවීම සඳහා තාවකාලික ගමන් ලියවිලි (TTD) 960ක් හා තාවකාලික ගමන් බලපත්‍ර (NMRP) 252ක් නිකුත් කර ඇත.
- කොන්සල් ජනරාල් කාර්යාලයේ ඉල්ලීම පරිදි විශේෂයෙන් පිහිටුවා ඇති ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සහ ෆිට්ස් එයාර් ගුවන් සමාගම විසින් ස්ථාපිත කර ඇති කවුන්ටර මගින් ශ්‍රී ලාංකිකයින් 1175 දෙනෙකු සහන පදනම් මත ගුවන් ටිකට්පත් ලබාගෙන ඇත.
එසේම, එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය 2024 දෙසැම්බර් මස 31 වැනි දිනෙන් අවසන් වීමට නියමිත බැවින් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් නිකුත් කරනු ලබන පිටවීමේ සහතිකය ලබාදීමට ද කාලයක් ගතවන බැවින් වලංගු ගුවන් ගමන් බලපත්‍රයක් නොමැති හෝ ගුවන් ගමන් බලපත්‍රය තමා සන්තකයේ නොමැති හෝ ශ්‍රී ලාංකිකයින් හැකි ඉක්මනින් තමන්ට ශ්‍රී ලංකාවට යාමට අවශ්‍ය තාවකාලික ගමන් ලියවිල්ල (TTD) සඳහා අයදුම් කිරීමට පැමිණෙන ලෙස අප කාර්යාලය විසින් තරයේ ඉල්ලා සිටිනු ලැබේ.
මෙම පොදු සමා කාලය තුළ අපගේ සහය අවශ්‍ය ශ්‍රී ලාංකිකයින් සඳහා සේවාවන් සැපයීමට කොන්සල් ජෙනරල් කාර්යාලය කැපවී සිටින බව දන්වා සිටින අතර මෙම පොදු සමා කාලය ප්‍රයෝජනයට ගෙන වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට නීත්‍යානුකූල වීසා බලපත්‍ර සකස් කරගන්නා ලෙස දන්වා සිටින අතරම එසේ නොහැකි ශ්‍රී ලාංකිකයින් ආරක්ෂාකාරීව නැවත ශ්‍රී ලංකාවට යාමට මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගන්නා ලෙස ඉල්ලා සිටිමු.
ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය
ඩුබායි
2024 නොවැම්බර් මස 04 වැනි දින