උත්ප්‍රේරක අවස්ථාවේ සිට වර්ධනයේ යන්ත්‍රයක් බවට පරිවර්තනය වන ලෙස ශ්‍රී ලංකාව ඉන්දියානු සාගර වටද්දර සංගමයෙන් ඉල්ලයි

උත්ප්‍රේරක අවස්ථාවේ සිට වර්ධනයේ යන්ත්‍රයක් බවට පරිවර්තනය වන ලෙස ශ්‍රී ලංකාව ඉන්දියානු සාගර වටද්දර සංගමයෙන් ඉල්ලයි

Photo_IORA (1)

ඉන්දියානු සාගර වටද්දර සංගමයේ (IORA)  ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ කමිටුවේ 8 වැනි අර්ධ වාර්ෂික රැස්වීම 2018 ජූලි මස 30 -31 යන දිනවල දකුණු අප්‍රිකාවේ ඩර්බන් නුවරදී  පැවැත්විණි.

ඉන්දියානු සාගර කලාපයේ ප්‍රමුඛ සංවිධානය වන ඉන්දියානු සාගර වටද්දර සංගමයට  උත්ප්‍රේරක අවස්ථාවේ සිට වර්ධනයේ යන්ත්‍රයක් බවට  පරිවර්තනය වීමට සුදුසු කාලය එළැඹ ඇතැයි එහි ආරම්භක සැසිය ඇමතූ ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ නායිකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු (බහුපාර්ශ්වීය) පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් සරෝජා සිරිසේන  මහත්මිය අවධාරණය කළාය. 2050 වසර වන විට ගෝලීය ජනගහණයෙන් අඩකගේ වාසභූමිය විය හැකි යැයි ඇස්තමේන්තු කළ කලාපයකට, බෙහෙවින් අවශ්‍ය කර ඇති සංවර්ධනය ළඟාකර දීමේ කාර්යයේදී ඉන්දියානු සාගර වටද්දර සංගමයට ඇති හැකියාව ඇය මෙහිදී ඉස්මතු කළාය. නව ආර්ථික අඩවි වශයෙන් සාගරවල ඇති වැදගත්කම අවධාරණය කළ ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ නායිකාව ඉන්දියානු සාගර වටද්දර සංගමයේ සාමාජික රටවල්, කලාපයට ප්‍රතිලාභ අත්කර දෙන සහයෝගීතා විධිවිධාන ක්‍රියාත්මක කළ යුතු බව සඳහන් කළාය.  ආර්ථික, උපායමාර්ගික සහ පාරිසරික යන ත්‍රිවිධ දෘෂ්ටිකෝණයන් ඔස්සේ ඉන්දියානු සාගරයේ ඇති සුවිශේෂී වැදගත්කම ඇය පෙන්වා දුන්නාය.

සාමුද්‍රික ආරක්ෂාව සහ සුරක්ෂිතබව පිළිබඳ ස්තම්භයේ නියමු සම්බන්ධීකාරක රට වශයෙන් ඉන්දියානු සාගර වටද්දර සංගමයේ ක්‍රියාකාරී කණ්ඩායම ස්ථාපිත කිරීම සඳහා වූ වැඩමුළුවක් සැප්තැම්බර් මාසයේදී කොළඹදී පවත්වන බව ශ්‍රී ලංකාව නිවේදනය කළේය. ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, ඉන්දුනීසියාව, මැඩගස්කරය, දකුණු අප්‍රිකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් සුසැදි මධ්‍ය කණ්ඩායම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ කමිටු රැස්වීම අතරතුරදී හමුවූ අතර, ක්‍රියාකාරී කණ්ඩායම පිහිටුවීමේ ඉදිරි කටයුතු කෙසේ විය යුතුදැයි එහිදී තීරණය කෙරිණි.

කලාපයේ සාමුද්‍රික ආරක්ෂාව සහ සුරක්ෂිතබව පිළිබඳ සහයෝගීතාවේ  ප්‍රායෝගික ක්ෂේත්‍ර හඳුනාගැනීම සහ සහක්‍රියාකාරකයන් ගොඩනැංවීම ක්‍රියාකාරී කණ්ඩායමේ පරමාර්ථ වේ. ඉන්දියානු  සාගර වටද්දර සංගමයේ ආපදා අවදානම් කළමනාකරණ සහ සංචාරක හා සංස්කෘතික හුවමාරු  මධ්‍ය කණ්ඩායම්වල  කොටස්කරුවකු බවටද ශ්‍රී ලංකාව පත්විය.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ සමුද්‍රීය කටයුතු සහ දේශගුණික විපර්යාස අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ශෂිකලා ප්‍රේමවර්ධන මෙනෙවිය, ශ්‍රී ලංකා නාවික හමුදාවේ කපිතාන් එච්.එම්.පී. සේනාරත්න මහතා සහ ප්‍රිටෝරියා නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය උපදේශිකා ප්‍රියංගනී හේවාරත්න මහත්මිය ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ කමිටු රැස්වීම  සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා නියෝජිත පිරිසට අයත් වූහ.

විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ

2018 අගෝස්තු 01 වැනි දා

Photo_IORA_2

Print Friendly, PDF & Email
Please follow and like us:

Close