ඉන්දුනීසියානු රජය වෛද්‍ය සැපයුම් තොගයක් පරිත්‍යාග කරයි

 ඉන්දුනීසියානු රජය වෛද්‍ය සැපයුම් තොගයක් පරිත්‍යාග කරයි

වෛද්‍ය සැපයුම් හරහා ශ්‍රී ලාංකික ජනතාව වෙත මානුෂීය ආධාර පරිත්‍යාග කරන ලෙස ශ්‍රී ලංකා රජය යොමු කළ ඉල්ලීමකට අනුව, ඇ.ඩො.මි. 1.5 කට සමාන වන ඉන්දුනීසියානු රුපියා 22,155,952,245.00  ක සමස්ත වටිනාකමින් යුත් ඖෂධ වර්ග 11 ක් සහ වෛද්‍ය උපකරණ වර්ග 8 ක් ඉන්දුනීසියානු රජය විසින් මෙරටට පරිත්‍යාග කරන ලදි.

මෙම මානුෂීය ආධාර තොගය භාරදීමේ උත්සවය 2022 අප්‍රේල් 28වැනි  දින සොකාර්නෝ හටා ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ගපුර අපනයන ගබඩා ගොඩනැගිල්ලේදී පැවැත්විණි. ඉන්දුනීසියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනරාල්වරයා ඉන්දුනීසියාවේ සහ ආසියාන් හි ශ්‍රී ලංකා තානාපති යසෝජා ගුණසේකර මැතිනිය වෙත මෙම පරිත්‍යාගය භාර දුන්නේ ය.

සෞඛ්‍ය අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, ලෝක සෞඛ්‍ය සංවිධානයේ එරට කාර්යාලය, ඉන්දුනීසියාවේ ඖෂධ සහ වෛද්‍ය උපකරණ සමාගම්වල නියෝජිතයන් සහ ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

මෙම වෛද්‍ය සැපයුම් තොගය ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ගුවන් යානා මගින් 2022 අප්‍රේල් 28 සහ මැයි 08 යන දිනවල මෙරටට ගෙන්වීමට නියමිතය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

ජකර්තා

2022 මැයි 05 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close