ඉන්දීය ශ්‍රී ලංකා මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා ඉන්දියාව සමඟ දියුණු ආර්ථික සහයෝගිතාවයක් අපේක්ෂා කරයි.

ඉන්දීය ශ්‍රී ලංකා මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා ඉන්දියාව සමඟ දියුණු ආර්ථික සහයෝගිතාවයක් අපේක්ෂා කරයි.

 ඉන්දීය ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා, ඉන්දියාවේ මුදල් හා ආයතනික කටයුතු අමාත්‍යවරිය වන නිර්මලා සීතාරාමන් මහත්මිය 2021 නොවැම්බර් 02 දින නවදිල්ලි නුවරදී හමු වූ අවස්ථාවේ දී, ඉන්දියාව සමඟ ආර්ථික සහයෝගිතාවය තවදුරටත් වැඩි දියුණු කිරීමේ ක්‍රමෝපායන් අපේක්ෂා කරන බව ප්‍රකාශ කළේ ය.

සීතාරාමන් අමාත්‍යවරිය, සිය ශ්‍රී ලංකා සංචාර පිළිබඳ ව සිහිපත් කරමින්, මහ කොමසාරිස් මොරගොඩ මහතා උණුසුම් ලෙස පිළිගත්තා ය. ඉන්දියාවේ මුදල් හා ආයතනික කටයුතු අමාත්‍යවරිය සහ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා අතර ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගිතාවයට අදාළ කරුණු රැසක් පිළිබඳව මෙහි දී සාකච්ඡා කෙරිණි.

ඉන්දියාව සිය ආර්ථික සහයෝගිතා වැඩසටහන් හරහා විවිධ ක්ෂේත්‍ර ගණනාවකින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති සහයෝගය වෙනුවෙන් මහ කොමසාරිස් මොරගොඩ මහතා මුදල් අමාත්‍යවරිය වෙත සිය ස්තූතිය පුද කළේ ය. දෙරට අතර පවතින ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගිතා වැඩසටහන් තවදුරටත් වර්ධනය කර වැඩිදියුණු කළ හැකි ක්‍රම සහ විධි පිළිබඳව ඔවුහු සාකච්ඡා කළහ.

මහ කොමසාරිස් මොරගොඩ මහතා විසින්, “2021/2023 ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික දූතමණ්ඩල සඳහා ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ රාජ්‍ය උපායමාර්ගය” නම් වූ සිය ප්‍රතිපත්තිමය මාර්ග සටහනේ පිටපතක් ද මුදල් හා ආයතනික කටයුතු අමාත්‍යවරිය වෙත පිළිගන්වනු ලැබීය.

වෘත්තියෙන් ආර්ථික විශේෂඥවරියක් වන නිර්මලා සීතාරාමන් මහත්මිය, 2019 වසරේ මැයි මාසයේ සිට ඉන්දියාවේ මුදල් හා ආයතනික කටයුතු අමාත්‍යවරිය ලෙස කටයුතු කර ඇත. ඊට පෙර ඇය 2017 සිට 2019 වසර දක්වා ආරක්ෂක අමාත්‍යවරිය ලෙස කටයුතු කළා ය. සීතාරාමන් මහත්මිය මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සහ වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශයේ (ස්වාධීන භාර) රාජ්‍ය අමාත්‍යවරිය ලෙස ද කටයුතු කර ඇත.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

නව දිල්ලිය

2021 නොවැම්බර් 08

Print Friendly, PDF & Email
Please follow and like us:

Close