ඉන්දීය විදේශ ලේකම් විනේ ක්වාත්‍රා මහතා විදේශ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය  හමුවෙයි

ඉන්දීය විදේශ ලේකම් විනේ ක්වාත්‍රා මහතා විදේශ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය  හමුවෙයි

එක් දින සංචාරයක් සඳහා 2022 ජූනි 23 වැනි දින ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය විදේශ ලේකම් විනේ ක්වාත්‍රා මහතා විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී විදේශ කටයුතු  ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය හමුවිය.

ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ විදේශ ලේකම්වරු දෙපළ මෙම හමුව අතරතුර, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින විශිෂ්ට ද්විපාර්ශ්වික සබඳතා සම්බන්ධයෙන් සුහද සාකච්ඡාවක නිරත වූහ. එමෙන්ම, ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව ද ඔවුහු සාකච්ඡා පැවැත්වූ හ. වත්මන් ආර්ථික අභියෝග ජයගැනීම සඳහා ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දෙන සහයෝගය සහ උපකාර පිළිබඳව විදේශ ලේකම් විජේවර්ධන මහත්මිය සිය ඉන්දීය මිත්‍ර පාර්ශ්වය වෙත සිය කෘතඥතාව පළ කළා ය.

ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මැතිතුමා සහ  ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ සම ලේකම් කාර්තික් පාණ්ඩේ මහතා ඉන්දීය විදේශ ලේකම්වරයා සමඟ මෙම අවස්ථාවට සහභාගී වූහ. විදේශ කටයුතු අමාත්‍යාංශයේ දකුණු ආසියා අංශයේ අතිරේක ලේකම්  බී. කන්දීපන්, දකුණු ආසියා අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්. ධර්මපාල සහ ආර්ථික කටයුතු අංශයේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන වීරසේන යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2022 ජූනි 23 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close