ඉන්දියාවේ ශ්‍රී ලංකා නම්කළ මහකොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා නවදිල්ලියේ දී සිය රාජකාරි අරඹයි

ඉන්දියාවේ ශ්‍රී ලංකා නම්කළ මහකොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා නවදිල්ලියේ දී සිය රාජකාරි අරඹයි

ඉන්දියාවේ නව ශ්‍රී ලංකා නම්කළ මහකොමසාරිස්වරයා ලෙස අමාත්‍ය මණ්ඩලයීය තත්ත්වය සමඟ පත් කරන ලද මිලින්ද මොරගොඩ මැතිතුමා, 2021 අගෝස්තු 30 වැනි දින නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ පැවති චාම් උත්සවයක දී සිය රාජකාරි ආරම්භ කළේය.

මහ කොමසාරිස් කාර්යාලයේ කාර්ය මණ්ඩලය විසින් සාම්ප්‍රදායික ලෙස බුලත් හුරුල්ලක් පිළිගන්වා නම්කළ මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා සහ ජෙනිෆර් මොරගොඩ මැතිනිය පිළිගන්නා ලදී. අතිපූජ්‍ය ආචාර්ය නියංගොඩ විජිතසිරි අනු නායක ස්වාමීන් වහන්සේ, අතිපූජ්‍ය මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත අනු නායක ස්වාමීන් වහන්සේ, අතිපූජ්‍ය තිරිකුණාමලේ ආනන්ද මහා නායක ස්වාමීන් වහන්සේ, අතිපූජ්‍ය මහාචාර්ය කොටපිටියේ රාහුල අනු නායක ස්වාමීන් වහන්සේ සහ ඉන්දියානු මහාබෝධි සංගමයේ මහ ලේකම් අතිපූජ්‍ය පැලවත්තේ සීවලී නායක ස්වාමීන් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරත්නය විසින් සූම් වේදිකාව හරහා සිදුකරන ලද සෙත් පිරිත් සජ්ඣායනය මධ්‍යයේ මොරගොඩ මැතිතුමා සිය රාජකාරි ආරම්භ කළේය.

රාජකාරි ආරම්භ කිරීමෙන් අනතුරුව, මහ කොමසාරිස් කාර්යාලයේ කාර්ය මණ්ඩලය ඇමතූ නම්කළ මහ කොමසාරිස්වරයා, ශ්‍රී ලංකාවේ අභිලාෂයන් ඉදිරියට ගෙන යාම සහ ශ්‍රී ලංකා ඉන්දියා සබඳතා නව තලයක් කරා ඉහළ නැංවීම සඳහා එක් කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළේය.

කාර්ය මණ්ඩල රැස්වීමේ දී, නම්කළ මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා, ඉදිරි වසර දෙක තුළ දී ඉන්දියාවේ ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩලවල වැඩ කටයුතු සඳහා දර්ශක රාමුවක් සැපයීමට අපේක්‍ෂා කෙරෙන සිය “ඉන්දියාවේ ශ්‍රී ලංකාවේ රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල  සඳහා වූ ඒකාබද්ධ රාජ්‍ය උපායමාර්ගය 2021/2023” යන ප්‍රතිපත්ති රාමුව නිල වශයෙන් නිවේදනය කළේය.

මෙම ප්‍රතිපත්ති රාමුව පදනම් වී ඇත්තේ ත්‍රිපිටක ධර්මයේ එන ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේ සඳහන් කර ඇති සද්ධාසීලචාග සහ පඤ්ඤා අයත්වන සතර සම්පදා හෝ ජයග්‍රහණ සතර මත වන අතර, ජාත්‍යන්තර සබඳතා පිළිබඳ නූතන සන්දර්භය තුළ ඒවා පිළිවෙලින් විශ්වාසය, සිල්වත් හැසිරීම, පරිත්‍යාගය සහ ගැඹුරු අවබෝධය ලෙස අර්ථ දැක්විය හැකිය.

https://www.slhcindia.org/images/stories/N_images/PDF/ics%20english%20final300821.pdf වෙබ් සබැඳිය හරහා මෙම ලේඛනයට ප්‍රවේශ විය හැකිය.

නම්කළ මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමාගේ වෘත්තීය ජීවිතය, ව්‍යාපාරික කටයුතු, රජය, දේශපාලනය, රාජ්‍යතාන්ත්‍රිකභාවය, මාධ්‍ය සහ ශාස්ත්‍රීය කටයුතු දක්වා විහිදී ඇත. එතුමා ඉන්දියාවේ විසි හය වැනි ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා වෙයි.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

නව දිල්ලිය

2021 අගෝස්තු 31 වැනි දින

 

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close