ඉන්දියාවේ ප්‍රධාන ආගම් සමඟ සංවාදය දිගටම කරගෙන යමින්, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා විසින් ජමියත් උලමා-අයි-හින්ද් කවුන්සිලයේ මහලේකම්වරයා වෙත ශුද්ධ වූ කුරානයේ සිංහල පරිවර්තනයක් පිළිගන්වයි. 

ඉන්දියාවේ ප්‍රධාන ආගම් සමඟ සංවාදය දිගටම කරගෙන යමින්, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා විසින් ජමියත් උලමා-අයි-හින්ද් කවුන්සිලයේ මහලේකම්වරයා වෙත ශුද්ධ වූ කුරානයේ සිංහල පරිවර්තනයක් පිළිගන්වයි. 

ඉන්දියාවේ සියලුම ප්‍රධාන ආගම් සමඟ පවත්නා සංවාදය ඉහළ නැංවීමට දරන ප්‍රයත්නයන් අඛණ්ඩව ක්‍රියාත්මක කරන අතරතුර, නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය 2022 පෙබරවාරි 28 වැනි දින ශුද්ධ වූ කුරානයේ සිංහල පරිවර්තනයක් ජමියත් උලමා-අයි-හින්ද් කවුන්සිලය (ඉන්දියාවේ ඉස්ලාමීය දේවධර්මවාදීන්ගේ කවුන්සිලය) වෙත පිළිගැන්වී ය.

ශ්‍රී ලංකාවේ සමස්ත ලංකා ජමියතුල් උලමා (ACJU) සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරන ලද මෙම ශුද්ධ වූ කුරානයේ සිංහල පරිවර්තනය, ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා විසින් අද පස්වරුවේ දී ජමියත් උලමා-අයි -හින්ද් කවුන්සිලයේ මහලේකම් අධිනීතිඥ නියාස් අහමඩ් ෆරූකි මහතා වෙත පිළිගන්වන ලදි.

විනිවිද පෙනෙන මංජුසාවක් තුළ ස්ථාපනය කොට ඇති ශුද්ධ වූ කුරානයේ පිටපත, කවුන්සිලය සතු වසර 500ක් ඉපැරණි මුස්ලිම් දේවස්ථානය තුළ ලබන සිකුරාදා තෙක් ප්‍රදර්ශනය කෙරෙන අතර, ඉන් පසුව එය ස්ථිර ප්‍රදර්ශන වස්තුවක් ලෙස එහි කෞතුකාගාරය වෙත ගෙන යනු ලැබේ.

මෙම වැඩසටහන අතරතුර දී මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා සහ ජමියත් උලමා-අයි-හින්ද් කවුන්සිලයේ මහලේකම් නියාස් අහමඩ් ෆරූකි මහතා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඉස්ලාමීය සබඳතා වැඩිදියුණු කිරීම පිළිබඳව සාකච්ඡා කළහ. ජමියත් උලමා-අයි-හින්ද් කවුන්සිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු සහ මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් ද මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.

ශුද්ධ වූ කුරානයේ සිංහල පරිවර්තනය පිළිගැන්වීමෙන් අනතුරුව, මහ කොමසාරිස්වරයා ඇතුළු දූත පිරිස කවුන්සිලයේ කෞතුකාගාරය මෙන්ම, ඉස්ලාම් ධර්මය සහ ඒ ආශ්‍රිත අනෙකුත් විෂයයන් පිළිබඳ රචිත ග්‍රන්ථ 12,000ක් පමණ තැන්පත් කර ඇති පුස්තකාලය තුළ සංචාරයක නිරත වූහ.

1919 වර්ෂයේ දී ආරම්භ කරන ලද, ජමියත් උලමා-අයි-හින්ද් කවුන්සිලය යනු ඩියෝබන්දි චින්තන ගුරු කුළයට අයත් ඉස්ලාමීය විද්වතුන්ගෙන් සුසැදි ප්‍රමුඛතම සංවිධාන අතරන් එකකි. මෙම කවුන්සිලය සතුව ඉන්දියාව පුරා ව්‍යාප්ත වූ මිලියන 12 ක සාමාජිකත්වයක් පවතී. මහ කොමසාරිස් කාර්යාලය විසින් ඉන්දියාවේ ප්‍රධාන ඉස්ලාමීය ආයතනයකට ශුද්ධ වූ කුරානයේ සිංහල පරිවර්තනයක් පිළිගන්වන ලද දෙවැනි අවස්ථාව මෙය විය. පසුගිය නොවැම්බර් මස මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා විසින් ඉන්දියාවේ ප්‍රධාන ඉමාම්වරයා සහ දිල්ලියේ පිහිටි ජමා මස්ජිදයේ ෂාහි ඉමාම්වරයා වන සයිඩ් අහමඩ් බුකාරි පූජකතුමා වෙත ශුද්ධ වූ කුරානයේ සිංහල පරිවර්තනයක් පිළිගන්වන ලදි. එම ශුද්ධ වූ කුරානයේ පිටපත මේ වන විට කීර්තිමත් මෝගල් අධිරජ ෂා ජහාන් විසින් ඉදිකරන ලද ඓතිහාසික මුස්ලිම් දේවස්ථානය තුළ ස්ථිර ප්‍රදර්ශනය සඳහා ස්ථාපිත කොට ඇත. මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමාගේ ප්‍රතිපත්ති මාර්ග සිතියම වන " ඉන්දියාවේ ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල සඳහා වූ ඒකාබද්ධ රාජ්‍ය උපායමාර්ගය" නමැති ප්‍රතිපත්ති මාර්ග සිතියම අනුව, නවදිල්ලියේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, ඉන්දියාවේ සියලුම ප්‍රධාන ආගම් සමඟ පවත්නා සංවාදය ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරයි.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

නවදිල්ලිය

2021 මාර්තු 08 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close