ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ (IORA) සභාපතිත්වය ශ්‍රී ලංකාවට - එළඹෙන සතියේ  කොළඹ දී පැවැත්වීමට නියමිත අමාත්‍යරුන්ගේ රැස්වීම

ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ (IORA) සභාපතිත්වය ශ්‍රී ලංකාවට – එළඹෙන සතියේ  කොළඹ දී පැවැත්වීමට නියමිත අමාත්‍යරුන්ගේ රැස්වීම

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ 2023 ඔක්තෝම්බර් 11 වැනි දින කොළඹ දී පැවැත්වීමට නියමිත, ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ 23 වැනි අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා එහි විදේශ කටයුතු අමාත්‍යවරුන් මෙන්ම සාමාජික රටවල අනෙකුත් ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් සහ සංවාද හවුල්කරුවන් එළඹෙන සතියේ දී මෙරටට පැමිණෙනු ඇත. බංග්ලාදේශය, ඉන්දියාව, ඉරානය, මොරිෂස්, මැලේසියාව සහ දකුණු අප්‍රිකාව යන රටවල විදේශ කටයුතු අමාත්‍යවරුන් ඇතුළු අමාත්‍යවරුන් දහසය දෙනෙකු මෙන්ම ඕස්ට්‍රේලියාව, කොමරෝස්, ප්‍රංශය, ඉන්දුනීසියාව, කෙන්යාව, මැඩගස්කරය, මාලදිවයින, මොසැම්බික්, ඕමානය, සීෂෙල්ස්, සිංගප්පූරුව, ශ්‍රී ලංකාව, සෝමාලියාව, ටැන්සානියාව, තායිලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ යේමනය (සාමාජික රටවල්) සහ චීනය, ඊජිප්තුව, සෞදි අරාබිය, ජර්මනිය, ඉතාලිය, ජපානය, කොරියානු ජනරජය, රුසියානු සමූහාණ්ඩුව, තුර්කිය, එක්සත් රාජධානිය සහ ඇමරිකා එක්සත් ජනපදය (සංවාද හවුල්කරුවන්)යන රටවල අමාත්‍යවරුන් සහ ජ්‍යෙෂ්ඨ මට්ටමේ නිලධාරීහු ද කොළඹ දී පැවැත්වෙන අමාත්‍යවරුන්ගේ කවුන්සිල රැස්වීම සඳහා සහභාගී වනු ඇත. අමාත්‍යවරුන්ගේ කවුන්සිලය යනු ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ තීරණ ගැනීමේ ඉහළම ආයතනය යි.

මෙම සංගමයේ වත්මන් සභාපතිත්වය දරන බංග්ලාදේශ විදේශ කටයුතු අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යවරයාට මීළඟ සභාපති ධුරය භාර දීමට නියමිත ය. එ් අනුව, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා මෙම කවුන්සිලයේ මුලසුන හොබවනු ඇත.

කවුන්සිලයට පෙර, විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ කමිටුවේ 25 වැනි රැස්වීම (ඔක්තෝබර් 9-10) පැවැත්වීමට නියමිත ය.

1997 දී පිහිටුවන ලද ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමය යනු ඉන්දියන් සාගරයේ වටද්දර ප්‍රදේශවල පිහිටි රාජ්‍යයන්ගෙන් සුසැදි අන්තර් රාජ්‍ය සංවිධානයකි. අප්‍රිකාව, බටහිර ආසියාව, දකුණු ආසියාව, අග්නිදිග ආසියාව සහ ඕෂනියාව යන කලාපවලට අයත් රටවල් එහි සාමාජිකත්වය දරති. අද වන විට එහි සාමාජිකත්වය සාමාජික රටවල් 23ක් සහ සංවාද හවුල්කරුවන් 11ක් දක්වා ව්‍යාප්ත වී ඇත. අමාත්‍යවරුන්ගේ කවුන්සිලයේ 23 වැනි රැස්වීම අතරතුර ශ්‍රී ලංකාව 2023 සිට 2025 දක්වා කාලය සඳහා මෙම සංගමයේ  සභාපතිත්වය භාරගනු ඇත.

වෙළඳාම හා ආයෝජන, සමුද්‍රීය ආරක්ෂාව සහ සුරක්ෂිතතාව, ධීවර කටයුතු කළමනාකරණය, ආපදා අවදානම් කළමනාකරණය සහ නීල ආර්ථිකය ඇතුළුව, ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමය හඳුනාගෙන ඇති ප්‍රමුඛතා ක්ෂේත්‍ර හයට අදාළව සහයෝගයෙන් කටයුතු කළ හැකි ක්‍රම පිළිබඳව අමාත්‍යවරු මෙහිදී සාකච්ඡා පවත්වනු ඇත. සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ 25 වැනි කමිටුව විසින් සිදු කළ යුතු නිර්දේශ මේ සඳහා මඟපෙන්වීමක් ලබා දෙනු ඇත.

ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ මහලේකම් ආචාර්ය සල්මාන් අල් ෆාරිසි සහ මොරිෂස්හි හි ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරුන් ද මෙම රැස්වීමට සහභාගී වීමට නියමිත ය.

මෙරටට පැමිණෙන අමාත්‍යවරු ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා හමුවීමට නියමිත ය. තවද, ඔවුන්ගේ මිත්‍ර පාර්ශ්වය වන ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා මෙන්ම අනෙකුත් අමාත්‍යවරුන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා  පැවැත්වීමට ද නියමිත ය.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2023 ඔක්තෝබර් 5 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close