ඉන්දියානු වෙළඳ හා කර්මාන්ත වාණිජ මණ්ඩලය සහ මුම්බායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය අතර පවත්වන ලද අන්තර් ක්‍රියාකාරී සැසිය

ඉන්දියානු වෙළඳ හා කර්මාන්ත වාණිජ මණ්ඩලය සහ මුම්බායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය අතර පවත්වන ලද අන්තර් ක්‍රියාකාරී සැසිය

මුම්බායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය සහ ඉන්දියානු වාණිජ මණ්ඩලය විසින් ඉන්දියානු වාණිජ මණ්ඩලයේ (IMC) කමිටු සාමාජිකයන් සහ දූත මණ්ඩල නිලධාරීන් අතර අන්තර් ක්‍රියාකාරී සැසියක් සංවිධානය කෙරුණු අතර, එය 2021 නොවැම්බර් 09 වැනි දින මුම්බායි හි පිහිටි ඉන්දියානු වාණිජ මණ්ඩලයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. මෙම සැසියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කොන්සල් ජනරාල් ආචාර්ය වල්සන් වෙතෝඩි මහතා සහභාගී වූ අතර, ඉන්දියානු වාණිජ මණ්ඩලයේ සභාපති ජුසාර් කොරකිවාලා මහතා සහ එහි අධ්‍යක්ෂ ජනරාල් අජිත් මංග්රුල්කාර් මහතා විසින් එතුමා උණුසුම් ලෙස පිළිගනු ලැබී ය. ශ්‍රී ලංකාව සහ ඉන්දියාවේ බටහිර ප්‍රදේශය අතර වෙළෙඳ, ආයෝජන සහ සංචාරක ව්‍යාපාරය ව්‍යාප්ත කිරීම සඳහා වන ශක්‍යතා සහිත අවස්ථා ගවේෂණය කිරීම සඳහා වාණිජ මණ්ඩලයේ නිලධාරීන් සහ කමිටු සාමාජිකයන් සමඟ අන්තර් ක්‍රියා පැවැත්වීම මෙම උත්සවයේ අරමුණ විය.

පිළිගැනීමේ දේශනය සිදු කළ ඉන්දියානු වාණිජ මණ්ඩලයේ සභාපතිවරයා, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවත්නා දිගු කාලීන බහුවිධ ද්විපාර්ශ්වික සබඳතා ඉස්මතු කරමින්, දූත කාර්යාලය සමඟ සහයෝගීතාවයෙන් ඉන්දියානු වාණිජ මණ්ඩලය විසින් 2020 සැප්තැම්බර් 29 වැනි දින සංවිධානය කරන ලද "ඉන්දියා - ශ්‍රී ලංකා වත්මන් ව්‍යාපාරික පරිසරය, කෘෂි සහ සැකසූ ආහාර අංශය සඳහා වන ඒකාබද්ධ සහයෝගීතා අවස්ථා" නමැති වෙබිනාර් සාකච්ඡාව වැනි ප්‍රධාන ප්‍රවර්ධන ක්‍රියාකාරකම් පිළිබඳව සහ 2017 වර්ෂයේ දී ශ්‍රී ලංකාවට  පැමිණි ඉන්දියානු වාණිජ මණ්ඩලයේ ව්‍යාපාරික නියෝජිත පිරිස පිළිබඳව අවධාරණය කළේ ය.

ප්‍රධාන දේශනය සිදු කළ ඉන්දියානු වාණිජ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, ශ්‍රී ලංකා රජය විසින් සකස් කර ඇති සංවර්ධන ප්‍රතිසංස්කරණ, ආයෝජන සඳහා විවෘත කරන ලද අංශ සහ විශේෂයෙන්ම ඉන්දීය මාධ්‍යවල පළ කෙරෙන විවිධ අහිතකර වාර්තා හමුවේ ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව දැන ගැනීමට දැඩි උනන්දුවකින් පසු විය. දෙපාර්ශ්වයටම හිතකර ජයග්‍රාහී ආර්ථික වැඩපිළිවෙළක් මත ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලියට සහභාගී වීම සඳහා ඉන්දියානු වාණිජ මණ්ඩලයේ සාමාජිකයන් තුළ ඇති උනන්දුව පිළිබඳව ද එතුමා අවධාරණය කළේ ය.

රැස්ව සිටි පිරිස අමතන අතරතුර කමිටු සාමාජිකයන් විසින් නගන ලද විමසීම්වලට පිළිතුරු ලබා දුන් කොන්සල් ජනරාල්වරයා, ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව පැහැදිලි කළේ ය. එතුමා සිය දේශනය අතරතුර දී, ශ්‍රී ලංකා රජයේ සාර්ථක එන්නත්කරණ වැඩපිළිවෙළ, ජාත්‍යන්තර සංචාරකයන් පිළිගැනීමට සහ සංචාරක කර්මාන්තයේ පුනර්ජීවනය සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග, ඖෂධ නිපැයුම් කලාපය, ඇඟළුම් කලාපය, වරාය නගරය, ධීවර සහ කෘෂි අංශයේ අවස්ථා වැනි ශ්‍රී ලංකාව තුළ පවතින ආයෝජන අවස්ථා, ආයෝජන සඳහා හිතකර වාතාවරණය, වැඩි දියුණු වෙමින් පවතින ආර්ථික තත්ත්වය, ගුවන් සම්බන්ධතාව සහ වෙළෙඳ හා ආයෝජන කටයුතු තවදුරටත් ඉහළ නැංවීමේ හැකියාව යනාදිය පිළිබඳව ඉස්මතු කළ අතර, හම්බන්තොට වරාය, වරාය නගරය සහ ‘ශ්‍රී ලංකාව පිළිබඳව මතු වී ඇති ‘චීන භූ-උපායමාර්ගික අවශ්‍යතා’ සම්බන්ධයෙන් වන අහිතකර ප්‍රචාර පිළිබඳව පැහැදිලි කළේ ය. ශ්‍රී ලංකාවේ විදේශ මුදල් ගැටළුව පිළිබඳව පළ වන අහිතකර මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් පැහැදිලි කළ එතුමා, එය ව්‍යුහාත්මක ප්‍රශ්නයක් නොවන බවත් කොවිඩ් වසංගතය හේතුවෙන් හටගත් කෙටි කාලීන ද්‍රවශීලතා ගැටළුවක් වන බවත්, මෙම තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒම  සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව දැනටමත් ක්‍රියාමාර්ග ආරම්භ කොට ඇති බවත් පැවසී ය.

ශ්‍රී ලංකාව තුළ වර්ධනය වෙමින් පවතින චීන භූ මූලෝපායික බලපෑම පිළිබඳව විමසූ විට, ශ්‍රී ලාංකිකයන් වන අපි අපගේ ස්වෛරීභාවය සහ අඛණ්ඩතාව පිළිබඳව ආඩම්බර වන අතර අප කිසි විටෙකත් වෙනත් ජාතීන්ට යටත් නොවන බවත්,  'ශ්‍රී ලංකාව තුළ දැකිය හැකි චීන ආර්ථික කටයුතු’ හුදෙක් ආර්ථික සාධක හේතුවෙන් සිදු කෙරෙන බවත් ආචාර්ය වෙතෝඩි මහතා පැහැදිලි කළේ ය. බලගතු ජාතීන්ගේ විදේශ බලපෑම් නොතකා ශ්‍රී ලංකාව බෙදුම්වාදී යුද්ධය නිමා කළ ආකාරයත්, අප්‍රකාශිත විකිරණශීලී ද්‍රව්‍ය සහිත චීන නෞකාවක් හම්බන්තොට වරායෙන් පිටතට යැවූ ආකාරයත්, චීන සමාගමක් විසින් මෑතක දී ශ්‍රී ලංකාවට එවන ලද පොහොර තොගයේ සාම්පල පරික්ෂා කිරීමේ දී එය දූෂිත බව හඳුනාගත් හෙයින් එය භාර නොගැනීමේ සිද්ධියත් උදාහරණ ලෙස එතුමා පෙන්වා දුන්නේ ය. අනුමාන මත පදනම් නොවී ශ්‍රී ලංකාව තුළ ඇති අවස්ථා ග්‍රහණය කර ගන්නා ලෙස එතුමා ඉන්දියානු ආයෝජකයන්ට ආරාධනා කළේ ය. ඉන්දියානු කර්මාන්ත සම්මේලනය (CII), ගුජරාට් පරිච්ඡේදය) සමඟ එක්ව දූත මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ඉදිරි ආයෝජන සම්මන්ත්‍රණයට සහභාගී වන ලෙස ද සියලුම සහභාගිවන්නන්ට ආරාධනා කරන ලදී.

ඉන්දියානු වාණිජ මණ්ඩලය යනු මුම්බායි හි පිහිටි සාරවත් උරුමයක් සහිත දිගු කාලීන ව්‍යාපාරික සංගමයකි. රිලායන්ස්, මහින්ද්‍රා ඇන්ඩ් මහින්ද්‍රා, ගොඩ්රිජ් ආදී වශයෙන් වූ මුම්බායි හි සහ ඉන්දියාවේ බටහිර කලාපයේ ස්ථාපිත ප්‍රධාන ව්‍යාපාරික ආයතන සහ කර්මාන්තකරුවන් බොහොමයක් ඉන්දියානු වාණිජ මණ්ඩලයේ සාමාජිකයන් වේ. එහි 5000කට අධික සාමාජික පදනමක් සහ ඊට අනුබද්ධිත වෙළඳ සංගම් 150කට අධික සංඛ්‍යාවක් ඇත. දේශීය ව්‍යාපාරවල අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරීම සඳහා ඉන්දියානු වෙළඳුන් කිහිප දෙනෙකු විසින් 1907 සැප්තැම්බර් 07 වැනි දින මෙම වාණිජ මණ්ඩලය පිහිටුවන ලදී. දේශය ගොඩනැගීම සඳහා මෙම වාණිජ මණ්ඩලය ලබා දෙන දායකත්වය ඇගයූ මහත්මා ගාන්ධිතුමා, 1931 වර්ෂයේ දී ඊට ගෞරවනීය සාමාජිකත්වය පිරිනැමී ය. මුම්බායි හි චර්ච්ගේට් හි පිහිටි වාණිජ මණ්ඩල ගොඩනැගිල්ලේ මුල්ගල තබනු ලැබුවේ ශ්‍රී සර්දාර් වල්ලභායි පටෙල් මහතා විසිනි. වර්තමානයේ දී මෙම වාණිජ මණ්ඩලයේ මූලික කාර්යය වන්නේ ප්‍රතිපත්ති යෙදවුම් සැපයීම සහ රටේ කර්මාන්ත සහ ආර්ථික වර්ධනයේ අවශ්‍යතා ප්‍රවර්ධනය කිරීමයි.

මෙම සංචාරයේ දී තානාපති කාර්යාලයේ කොන්සල් (වාණිජ) සඳුන් සමීර මහතා කොන්සල් ජනරාල්වරයාට සහය විය.

කොන්සල් ජනරාල් කාර්යාලය

මුම්බායි

2021 නොවැම්බර් 17

Print Friendly, PDF & Email
Please follow and like us:

Close