‘ඉටුකම’ කොවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල සඳහා පිලිපීනය ලබා දුන් පරිත්‍යාගය

‘ඉටුකම’ කොවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල සඳහා පිලිපීනය ලබා දුන් පරිත්‍යාගය

පිලිපීනයේ වෙසෙන ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු මෙන්ම ශ්‍රී ලංකාවේ හිතවතෙකු වන විලියම් චෙන් මහතා විසින් ‘ඉටුකම’ කොවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට ඇමරිකානු ඩොලර් 20,000ක (ශ්‍රී ලංකා රුපියල් මිලියන 4ක් පමණ) මුදලක් පරිත්‍යාග කරන ලදී. මෙම පරිත්‍යාගය සඳහා පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපති ශෝභිනී ගුණසේකර මැතිනිය විසින් පහසුකම් සපයන ලදී. මෙම පරිත්‍යාගය හරහා ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 ව්‍යාප්තිය අවම කිරීම, ඒ ආශ්‍රිත සමාජ සුබසාධන වැඩසටහන් ඉලක්ක කරගත් ක්‍රියාකාරකම් සඳහා සහය ලබා දීම සහ එම කටයුතු ශක්තිමත් කිරීම සිදු කෙරෙනු ඇත.

පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් පහසුකම් සපයන ලද මෙම පරිත්‍යාගය කොළඹ විදේශ අමාත්‍යංශයේ පැවති උත්සවයක දී පිරිනමන ලදී. මෙම පරිත්‍යාගය විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා සහ ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මැතිතුමා විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේ  ‘ඉටුකම’ අරමුදලේ ලේකම් රවීන්ද්‍ර විමලවීර මහතා  වෙත භාර දෙන ලදී. රාජ්‍ය අමාත්‍යංශ ලේකම් වෛද්‍ය ආර්.එම්.එස්.කේ රත්නායක මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.

මෙම පරිත්‍යාගය පිරිනැමූ විලියම් චෙන් මහතා Zoom තාක්ෂණය ඔස්සේ මෙම උත්සවයට සහභාගී විය. රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මැතිතුමා, විලියම් චෙන් මහතාගේ ත්‍යාගශීලීභාවය සහ ශ්‍රී ලංකාවට අඛණ්ඩව ලබා දෙන සහය පිළිබඳව සිය කෘතඥතාව පළ කළේ ය. පරිත්‍යාගය පිරිනැමූ විලියම් චෙන් මහතා ද තමන් ලබා දෙන අඛණ්ඩ සහයෝගය පිළිබඳව තහවුරු කළේ ය.

විදේශ අමාත්‍යංශය

කොළඹ

2021 නොවැම්බර් 17 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close