ඇමරිකා එක්සත් ජනපදය සඳහා  නම්  කරන ලද ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මැතිතුමා සිය ධුරයේ වැඩ භාරගනියි

 ඇමරිකා එක්සත් ජනපදය සඳහා  නම්  කරන ලද ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මැතිතුමා සිය ධුරයේ වැඩ භාරගනියි

ඇමරිකා එක්සත් ජනපදය සඳහා  නම්කළ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මැතිතුමා 2021 දෙසැම්බර් 2 වැනි දින වොෂින්ටන් ඩී.සී. හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී සිය ධුරයේ වැඩ භාර ගත්තේය.

නම්කළ තානාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලය විසින් චාරිත්‍රානුකූල පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව ආරම්භ වූ චාම් උත්සවය මධ්‍යයේ එතුමා සිය ධුරයේ වැඩ භාර ගත්තේය. මෙම අවස්ථාවේ දී සිය අදහස් පළ කළ   නම්කළ තානාපති සමරසිංහ මැතිතුමා කාර්ය මණ්ඩලය පිරිනැමූ උණුසුම් පිළිගැනීම වෙනුවෙන් සිය ස්තුතිය පළ කළ අතර තම ධුර කාලය තුළදී දෙරට අතර පවත්නා සබඳතා වඩාත් ශක්තිමත් කිරීම සහ පුළුල් කිරීම සම්බන්ධයෙන් තමන් දරන ශුභවාදී දැක්ම පිළිබඳව අදහස් දැක්වීය. ඊට අමතරව ඇමරිකා එක්සත් ජනපදය සමඟ ශ්‍රී ලංකාව පවත්නා සබඳතා, විවිධ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වන බව ද එතුමා සඳහන් කළේය. කැපවීමෙන් යුක්තව මාතෘ භූමියට තම සේවය ලබා දීම සඳහා උත්සාහ ගන්නා ලෙස ද එතුමා කාර්ය මණ්ඩලයෙන් ඉල්ලා සිටියේය. ඇමරිකා එක්සත් ජනපදය තුළ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය මෙන්ම ශ්‍රී ලංකාව උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර ප්‍රවර්ධනය කිරීමේ දී සෑම විටම සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාව ඊට දායක කරගැනීමේ වැදගත්කම පිළිබඳව ද   නම්කළ  තානාපතිවරයා අවධාරණය කළේය.

මෙල්බර්න් හි ලා ට්‍රෝබ් විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාවේදී (ගෞරව) උපාධියක් ලබා ගත් තානාපති සමරසිංහ මැතිතුමා ශ්‍රී ලංකා විදේශ සේවයට බැඳී ඕස්ට්‍රේලියාවේ කැන්බරා හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම්වරයා ලෙස සේවය කළ අතර ඉන් අනතුරුව ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහා වන ශ්‍රී ලංකාවේ නිත්‍ය දූත මණ්ඩලයේ උපදේශකවරයා ලෙස ද සේවය කළේය.

නම්කළ තානාපති සමරසිංහ මැතිතුමා ඇමරිකා එක්සත් ජනපදයේ නම්කළ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත්වීමට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රජයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ  පානදුර ආසනය තුළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන සංවිධායකයෙකු ලෙස ද සේවය කළේය. නම් කරන ලද තානාපති සමරසිංහ මහතා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇතුළු ජාතික ව්‍යවස්ථාදායකයේ වැදගත් නිලතල ද හෙබවීය.

ජාත්‍යන්තර වේදිකාව තුළ ශ්‍රී ලංකාව නියෝජනය කළ මහින්ද සමරසිංහ මැතිතුමා තමන් සභාපති ලෙස කටයුතු කළ අන්තර් පාර්ලිමේන්තු සංගමය ඇතුළුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මානව හිමිකම් පිළිබඳ කමිටුව, ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO), ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO), ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය (ITU) සහ ලෝක කාලගුණ විද්‍යා සංවිධානය (WMO) ආදී විවිධ ජාත්‍යන්තර සංසදවල, ආයතනවල සහ සංවිධානවල සේවය කොට ඇත. 2008 සහ 2012 වසරවල පැවති කවුන්සිලයට පෙර ශ්‍රී ලංකාවේ විශ්වීය වාරික සමාලෝචන සාර්ථක ලෙස සම්මත කර ගැනීම ඇතුළුව බහුපාර්ශ්වික ව්‍යුහයේ (2006 සිට 2014 දක්වා) විශේෂ සහ නිත්‍ය සැසිවාර සඳහා ජිනීවා හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට සහභාගී වූ ශ්‍රී ලංකාවේ නියෝජිත කණ්ඩායමට නායකත්වය දුන්නේ ද මෙතුමාය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

වොෂින්ටන් ඩී.සී.

2021 දෙසැම්බර් 07 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close