ආසියානු සංවර්ධන බැංකුවේ දේශීය අධ්‍යක්ෂවරිය ලෙස ෂැනොන් කව්ලින්, විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා වෙත අක්තපත්‍ර පිළිගන්වයි

ආසියානු සංවර්ධන බැංකුවේ දේශීය අධ්‍යක්ෂවරිය ලෙස ෂැනොන් කව්ලින්, විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා වෙත අක්තපත්‍ර පිළිගන්වයි

ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාව සඳහා වන නව දේශීය අධ්‍යක්ෂවරිය ලෙස ෂැනොන් කව්ලින්, 2026 පෙබරවාරි 10 වැනි දින විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා වෙත විදේශ අමාත්‍යාංශයේදී අක්තපත්‍ර ප්‍රදානය කළාය.

ශ්‍රී ලංකාවේ අභියෝගාත්මක ආර්ථික කාලපරිච්ඡේදය තුළ ආසියානු සංවර්ධන බැංකුව ලබා දුන්  ඉමහත් සහයෝගය සඳහා ශ්‍රී ලංකාව සිය කෘතඥතාව පළ කරන බවත්, ශ්‍රී ලංකාවේ සංවර්ධන න්‍යාය පත්‍රයට සහය දක්වන ආසියානු සංවර්ධන බැංකුවේ ශක්තිමත් බහුවිධ හවුල්කාරිත්වය අඛණ්ඩව කරගෙන යෑමට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන බවත්, එතුමිය සාදරයෙන් පිළිගනිමින් අමාත්‍ය හේරත් මහතා ප්‍රකාශ කළේය.

2025 දෙසැම්බර් මාසයේ ඇති වූ දිට්වා සුළි කුණාටුවෙන් පසු ආසියානු සංවර්ධන බැංකුව ලබා දුන් ඇමරිකානු ඩොලර් මිලියන 3 ක ප්‍රදානය සම්බන්ධයෙන් අමාත්‍ය හේරත් මහතා ආසියානු සංවර්ධන බැංකුවවෙත සිය කෘතඥතාව පළ කළේය.

සියලු දෙනාම ඇතුළත් වන තිරසර සංවර්ධනයක් සඳහා සහයෝගීතාව ශක්තිමත් කිරීම පිණිස ආසියානු සංවර්ධන බැංකුව සතු කැපවීම දේශීය අධ්‍යක්ෂවරිය යළි අවධාරණය කළාය.

බලශක්තිය, ප්‍රවාහනය, සෞඛ්‍ය, අධ්‍යාපනය, යටිතල පහසුකම්, වෙළෙඳාම සහ සංචාරක ආදී ක්ෂේත්‍ර හරහා ශ්‍රී ලංකාව සහ ආසියානු සංවර්ධන බැංකුව අතර පවතින දිගුකාලීන හවුල්කාරිත්වය සහ රටේ සංවර්ධන ප්‍රමුඛතා සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් ලබා දෙන අඛණ්ඩ සහයෝගය මෙම සාකච්ඡාවලදී අගය කරන ලදී.

 

විදේශ කටයුතුවිදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ

 2026 පෙබරවාරි 12 වැනි දින

Please follow and like us:

Close