අබුඩාබි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ආලෝක මංගල්‍යය හෙවත් දීපාවලි උත්සවය සමරයි

අබුඩාබි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ආලෝක මංගල්‍යය හෙවත් දීපාවලි උත්සවය සමරයි

අබුඩාබි හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් "ආලෝක මංගල්‍යය" හෙවත් දීපාවලි උත්සවය 2021 නොවැම්බර් 08 වැනි දින තානාපති කාර්යාල පරිශ්‍රයේ දී සමරනු ලැබීය. කොවිඩ්-19 වසංගතය හමුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ පනවා ඇති සීමා හේතුවෙන් මෙම අවස්ථාව සඳහා අබුඩාබි හි වෙසෙන ශ්‍රී ලාංකික හින්දු ප්‍රජාවේ සීමිත බැතිමතුන් පිරිසක් සහ තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ සීමිත පිරිසක් සහභාගී විය.

තානාපති කාර්යාල පරිශ්‍රය මල් හා ‘කෝලම්’ නමින් හඳුන්වනු ලබන දීපාවලි මෝස්තරවලින් සරසා තිබූ අතර ඉටි පහන්වලින් ද ආලෝකවත් කර තිබුණි. සමාරම්භක උත්සවය අවස්ථාවේ දී තානාපතිවරයා සහ පැමිණ සිටි අමුත්තන් විසින් ශ්‍රී ලාංකික සම්ප්‍රදායට අනුව පොල්තෙල් පහන දල්වන ලදි.

හින්දු ආගමික වතාවත් සිදු කළ කුරුක්කල් වෙන්කට සුබ්‍රමනියන් පූජකතුමා තානාපතිවරයා, කාර්ය මණ්ඩලය, සහභාගීවන්නන්, ශ්‍රී ලංකාවේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නායකයන් උදෙසා ආසිරි පැතුවේ ය.

සිය දේශනය ඉදිරිපත් කළ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති මල්රාජ් ද සිල්වා මැතිතුමා දීපාවලි උත්සවයේ වැදගත්කම අවධාරණය කළේය. තවද දීපාවලි උත්සවය මගින් සංකේතවත් කෙරෙන සාමය, සහජීවනය, අයහපතට එරෙහිව යහපත ජය ගැනීම, අඳුර පළවා හැර ආලෝකය විහිදුවීම සහ අනවබෝධය පිටුදැකීම යන පණිවිඩය ද තානාපතිවරයා නැවත නැවතත් අවධාරණය කළේ ය.

උත්සවය අවසානයේ දී විශේෂ දීපාවලි රසකැවිලි සහ හින්දු සම්ප්‍රදායික ආහාරවලින් පැමිණ සිටි සියලුම ආරාධිතයන්ට සංග්‍රහ කරන ලදි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

අබුඩාබි

2021 නොවැම්බර් 10 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close