අබුඩාබි හි පැවති 5 වැනි ඉන්දියානු සාගර සමුළුවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වන විනාශය සහ ෆොසිල ඉන්ධන භාවිතය සීමා කිරීම සඳහා ගෝලීය ක්‍රියාමාර්ගයකට එළඹීමේ වැදගත්කම පිළිබඳව අවධාරණය කරයි

අබුඩාබි හි පැවති 5 වැනි ඉන්දියානු සාගර සමුළුවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වන විනාශය සහ ෆොසිල ඉන්ධන භාවිතය සීමා කිරීම සඳහා ගෝලීය ක්‍රියාමාර්ගයකට එළඹීමේ වැදගත්කම පිළිබඳව අවධාරණය කරයි

 අබුඩාබි හි පැවති 5 වැනි ඉන්දියානු සාගර සමුළුවට (IOC 2021) සහභාගී වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා 2021 දෙසැම්බර් 3-5 යන දිනවල එක්සත් අරාබි එමීර් රාජයේ නිල සංචාරයක නිරත විය.

2021 ඉන්දියානු සාගර සමුළුවේ මුලසුන හෙබවූ ජනාධිපති රාජපක්ෂ මැතිතුමා, දෙසැම්බර් 04 වැනි දින අබුඩාබි හි පැවති සමාරම්භක උත්සවයේ ආරම්භක දේශනය පැවැත්වී ය.  “පරිසර විද්‍යාව, ආර්ථිකය, වසංගතය” යන තේමාව යටතේ පැවති මෙම සමුළුව ඇමතූ ජනාධිපතිවරයා, වන විනාශය සීමා කිරීම, ෆොසිල ඉන්ධන භාවිතය සීමා කිරීම, සීමිත සම්පත් අධික ලෙස සූරාකෑම වැළැක්වීම සහ අනාගතය සඳහා සුරක්ෂිත ලොවක් බිහි කිරීමට පුනර්ජනනීය බලශක්ති භාවිතය ඉහළ නැංවීම සඳහා ගෝලීය ක්‍රියාමාර්ග ගැනීම යනාදියෙ හි පවත්නා වැදගත්කම පිළිබඳව අවධාරණය කළේ ය. වත්මන් ගෝලීය වසංගතය හමුවේ හටගෙන ඇති අභියෝගවලට මුහුණ දීම සඳහා ජාතීන් අතර සහයෝගීතාව ගොඩනැගීමේ  දැඩි අවශ්‍යතාවය පිළිබඳව ද එතුමා අවධාරණය කළේ ය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ ඩුබායි හි පාලකයා වන ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් මැතිතුමා දෙසැම්බර් 4 වැනි දින එක්ස්පෝ 2020 ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටියේ දී ජනාධිපති රාජපක්ෂ මැතිතුමා හමු විය. 2021 දෙසැම්බර් 02 වැනි දිනට යෙදුණු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික දිනයේ 50 වැනි සංවත්සර සැමරුම වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම හමුව ආරම්භයේදී ම ෂෙයික් මොහොමඩ් මැතිතුමා වෙත සිය සුබපැතුම් පිරිනැමී ය. දශක කිහිපයක් මුළුල්ලේ ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර පවත්නා දිගු කාලීන මිත්‍ර සබඳතා පිළිබඳව සිහිපත් කළ ෂෙයික් මොහමඩ් මැතිතුමා, ඉහළ පෙළේ සංචාර හුවමාරු කරගැනීම මගින් ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වැඩිදියුණු කරගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව අවධාරණය කළේ ය. ආර්ථික සහයෝගීතාව පුළුල් කිරීමේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, විශේෂයෙන්ම කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ඇතුළු අනෙකුත් ආයෝජන අවස්ථා  සඳහා ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ව්‍යාපාර සහ සමාගම්වලට ඇරයුම් කළේ ය.

එදිනම, ඩුබායි හි 2020 එක්ස්පෝ ප්‍රදර්ශනයේ නායකත්ව කුටියේ දී ජනාධිපති රාජපක්ෂ මැතිතුමා ඩුබායි හි නියෝජ්‍ය පාලක, නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය ෂෙයික් මක්ටූම් බින් මොහමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් මැතිතුමා සමඟ හමුවක් පැවැත්වී ය.  මෙම ද්විපාර්ශ්වික හමුවේ දී දේශපාලන සබඳතා, වෙළඳාම, ආයෝජන, සංචාරක ව්‍යාපාරය සහ රැකියා අවස්ථා යනාදී විෂය කරුණු රැසක් සාකච්ඡාවට ලක් කෙරිණි.

පැවති කාර්යබහුලත්වය හේතුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අබුඩාබි හි ඔටුන්න හිමි කුමරු සහ සන්නද්ධ හමුදාවල නියෝජ්‍ය උත්තරීතර අණදෙන නිලධාරියා වන ෂෙයික් මොහොමඩ් බින් සයෙඩ් බින් සුල්තාන් අල් නහ්යන් කුමරු සමඟ අතථ්‍ය අයුරින් හමුවක් පැවැත්වී ය. මෙම අතථ්‍ය හමුවේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා පිළිගත් අබුඩාබි හි ඔටුන්න හිමි කුමරු, ඉදිරියේ දී පුද්ගලික හමුවක් තුළින් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා පැවැත්වීමට තමන් අපේක්ෂා කරන බව ප්‍රකාශ කළේ ය. ඊට ප්‍රතිචාර දැක්වූ ජනාධිපති රාජපක්ෂ මැතිතුමා, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ස්වර්ණ ජයන්ති සැමරුම වෙනුවෙන් ඔටුන්න හිමි කුමරු වෙත සිය සුබපැතුම් පිරිනැමී ය. මෙම සංචාරය අතරතුර දී පිරිනමන ලද උණුසුම් සත්කාර වෙනුවෙන් ඔටුන්න හිමි කුමරු වෙත  සිය කෘතඥතාව පළ කළ ජනාධිපතිවරයා, විවිධ රැකියා අවස්ථා ලබා දෙමින් ලක්ෂ 3කට ආසන්න විදෙස්ගත  ශ්‍රී ලාංකික ප්‍රජාවක් සඳහා දෙවැනි නිවහනක් ලෙස සත්කාරකත්වය සැපයීම සම්බන්ධයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත සිය අවංක ස්තුතිය පුද කළේ ය.

ජනාධිපති රාජපක්ෂ මැතිතුමා දෙසැම්බර් 5 වැනි දින ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් පිටත්ව යන අවස්ථාවේ දී, ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය ආචාර්ය තානි අල් සියොඩි මැතිතුමා ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ වැදගත්කම පිළිබඳව නැවත අවධාරණය කළ අතර, ශ්‍රී ලංකාව තුළ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙළඳ සහ ආයෝජන අවස්ථා ඉහළ නැංවීම සඳහා සිය සහයෝගය ලබා දෙන බවට ජනාධිපතිවරයාට සහතික විය.

ජනාධිපතිවරයා සමඟ මෙම සංචාරයට සහභාගී වූ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති මල්රාජ් සිල්වා මැතිතුමා ජනාධිපතිතුමාගේ නිල කටයුතුවලට ද සම්බන්ධ වූහ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

අබුඩාබි

2021 දෙසැම්බර් 08වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close