අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක ආයෝජන අවස්ථා ගවේෂණය කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ තායිලන්තය ඉහළ පෙළේ සංවාද පවත්වයි

අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක ආයෝජන අවස්ථා ගවේෂණය කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ තායිලන්තය ඉහළ පෙළේ සංවාද පවත්වයි

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පවතින ආයෝජන අවස්ථා තවදුරටත් වැඩි දියුණු කොට පුළුල් කිරීම සඳහා, බැංකොක් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ නිත්‍ය දූත මණ්ඩලය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ චයිනා හාබර් ඉන්ජිනියරින් කම්පනි (CHEC) පෝර්ට් සිටි කලම්බු (ප්‍රයිවට්) ලිමිටඩ් සමඟ එක්ව, ආයෝජන අවස්ථා ගවේෂණය කිරීම සඳහා තායිලන්තයේ ප්‍රමුඛ රේඛීය  නියෝජිතායතන සහ වාණිජ වෙළඳ මණ්ඩලවලට ඇරයුම් කරමින් ඉහළ පෙළේ සංවාදයක් සඳහා මෑතක දී සම සත්කාරකත්වය ලබා දුන්නේය.

තායි-ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය; තායිලන්ත ආයෝජන මණ්ඩලය; තායිලන්තයේ තායි වාණිජ මණ්ඩලය සහ වෙළඳ මණ්ඩලය; තායි කර්මාන්ත සම්මේලනය; තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශයේ දකුණු ආසියා, මැද පෙරදිග සහ අප්‍රිකානු කටයුතු දෙපාර්තමේන්තුව සහ ජාත්‍යන්තර ආර්ථික කටයුතු දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු කිහිප දෙනෙක්, දෙරට අතර ද්විපාර්ශ්වික ආයෝජන අවස්ථා ගවේෂණය කිරීම සහ හඳුනාගැනීම සඳහා මෙම ප්‍රගාමී සංවාද සඳහා ක්‍රියාකාරී ව සහභාගී වූහ.

CHEC වරාය නගරය මඟින් ශ්‍රී ලංකාවෙන් පිරිනැමිය හැකි බහුවිධ ආයෝජන අවස්ථා මෙම සාකච්ඡා තුළින් විමසීමට ලක් කෙරුණු අතර, තායිලන්තයේ සැපයුම් දාම මෙහෙයුම් පුළුල් කිරීම සඳහා ශ්‍රී ලාංකික ව්‍යවසායන් බලගැන්වීමේ විකල්පවලට අමතර ව එහි ප්‍රධාන අංශ හය වන නිෂ්පාදනය, තොරතුරු තාක්ෂණය, ආගන්තුක සත්කාර හා සංචාරක කර්මාන්තය, කෘෂි හා ආහාර සැකසුම්, යටිතල පහසුකම් සහ අනෙකුත් සේවා යන අංශ ද මෙහි දී සාකච්ඡාවට බඳුන් විය.

මෙම ඉහළ පෙළේ සංසදයේ ආරම්භක දේශනය සිදු කරමින්, තායිලන්ත රාජධානියේ ශ්‍රී ලංකා තානාපති, එක්සත් ජාතීන්ගේ ආසියා සහ පැසිෆික් ආර්ථික සහ සමාජීය කොමිසමේ (UNESCAP) නිත්‍ය නියෝජිත සී. ඒ. චාමින්දා අයි. කොළොන්නේ  මැතිනිය ශ්‍රී ලංකාවේ සහ තායිලන්තයේ නියෝජිතයන් උණුසුම් ලෙස පිළිගත් අතර, ශ්‍රී ලංකාවේ ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් යුත් වත්මන් රජයේ 'සෞභාග්‍යයේ දැක්ම' ජාතික ප්‍රතිපත්ති රාමුව සහ විසි වැදෑරුම් විදේශ ප්‍රතිපත්ති මාර්ගෝපදේශ යටතේ, තිරසාර සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා ඉහළ මට්ටමේ ව්‍යාපාර සිදු කරන ආයෝජන හිතකාමී රටක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමට ප්‍රමුඛත්වය ලබා දී ඇති බව පැවසුවාය.

අග්‍රාමාත්‍ය ජනරාල් ප්‍රයුත් චන්-ඕ-චා මැතිතුමා සහ ශ්‍රී ලංකාවේ තානාපතිතුමිය අතර මෑතක දී සිදු වූ හමුවේ දී, තායිලන්ත ආයෝජකයන්ට කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ සහ ශ්‍රී ලංකාවේ වෙනත් ආයෝජන අවස්ථා සඳහා ආයෝජනය කරන ලෙසට කළ ඇරයුම පිළිගැනීම පිළිබඳව තානාපතිතුමිය මෙහි දී ගෞරවයෙන් සිහිපත් කළ අතර, කෙටි කාලයක් තුළ දී වුව ද, මාර්ගගත හමුවක් පැවැත්වීම සඳහා පහසුකම් සැපයූ තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශයේ දකුණු ආසියානු, මැද පෙරදිග සහ අප්‍රිකානු කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඩාර්ම් බූන්තම් මහතා වෙත තම විශේෂ ස්තුතිය පිරිනැමුවාය.

ශ්‍රී ලංකාවේ ආයෝජන මණ්ඩලයේ (BOI) සභාපති සංජය මොහොට්ටාල මහතා, ශ්‍රී ලංකාවේ සුවිශේෂී ආයෝජන පසුබිම පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් ලබා දෙමින්, ශ්‍රී ලංකාවේ ආයෝජන කේන්ද්‍ර කොටගත් සුවිශේෂී යෝජනා ගෙන හැර දක්වමින් මෙසේ පැවසීය. “මෙම සාකච්ඡා මඟින් අපව පරිවර්තනීය වෙනසකට මෙන්ම දෙරටෙහි ම ආර්ථික ක්ෂේත්‍රවල අනාගතයට ධනාත්මක බලපෑම් එල්ල කළ හැකි විසල් ආයෝජන අපේක්ෂාවන් රැසකට මං පෙත් විවර කොට දී ඇත. ශ්‍රී ලංකාව ගතික හා බහුකාර්ය අවස්ථාවන් ලබා දෙන අතර, මෙම ශක්‍යතාවයෙන් ප්‍රයෝජන ගැනීම සඳහා තායිලන්තයේ ආයෝජන ප්‍රජාව සාදරයෙන් පිළිගන්නෙමු. එමඟින් ගෝලීය ව්‍යවසායයන්ට CHEC වරාය නගරය හරහා ශ්‍රී ලංකාවේ කලාපීය මූලස්ථාන පිහිටුවීමට සහ වෙළෙඳපොළ ප්‍රවේශයභූගෝලීය පිහිටීමආර්ථික මූලධර්මජයග්‍රාහී හා හැකියාවෙන් යුතු කුසලතාවයන් සහ ජීවිතයේ ගුණාත්මකභාවය යන මූලික අංග ඇතුළත් අපගේ උපායමාර්ගික ආයෝජන යෝජනාවලින් මුළුමනින්ම ප්‍රයෝජනයට ගැනීමේ හැකියාව හිමි වේ.”

කොළඹ වරාය නගරයේ මෙරට විකුණුම් හා ආයෝජක සබඳතා කළමණාකාර, රාධික ඇල්ලේපොළ මහත්මා ව්‍යාපෘතියේ මහසැලැස්ම ඉදිරිපත් කළේය. ව්‍යාපෘතියේ ප්‍රගතිය, නවීනතම යටිතල පහසුකම්, තිරසාරභාවය, බහු සේවා විශේෂ ආර්ථික කලාපයේ (SEZ) ආයෝජනය කිරීමට ඇති අසමසම අවස්ථා සහ එහි කැපී පෙනෙන ලක්‍ෂණ පිළිබඳව ඔහු විස්තර කළේය. ආයෝජන අවස්ථා ගවේෂණය කළ හැකි නේවාසික, වාණිජ, ආගන්තුක සත්කාර සහ මිශ්‍ර භාවිත සංවර්ධනයන් යන ප්‍රධාන දේපල වත්කම් පංති හතරේ අනෙකුත් නිලධාරීන් සහ තායි වෙළඳ මණ්ඩල ද ඔහු දැනුවත් කළේය.

සුවිශේෂී භූගෝලීය පිහිටීම හේතු කොටගෙන කොළඹ වරාය නගරය තුළින් විශේෂිතවාසියක් හිමි වන බවත්, කලාපයේ සේවා සඳහා කේන්ද්‍රස්ථානය ලෙස එමඟින් සේවය ලබා දිය හැකි බවත් ඔහු පැවසුවේය.

තායි කර්මාන්ත සම්මේලනය නියෝජනය කරමින්, තායිලන්තයේ ආයෝජන මණ්ඩලයේ තායි ව්‍යවසාය සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ පුන්ලොප් පුන්‍යසිරි මහතා, තායිලන්ත වෙළඳ මණ්ඩලයේ දකුණු ආසියා, මැද පෙරදිග සහ අප්‍රිකානු කටයුතු පිළිබඳ උප සභාපති සොන්සාං පටවානිච් මහතා සහ ඇඟළුම් කර්මාන්ත සංගමයේ සභාපති සොම්සක් ශ්‍රිසුපෝර්න්වනිච් මහතා සංසදය ඇමතූහ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ නිත්‍ය දූත මණ්ඩලය

බැංකොක්

2021 සැප්තැම්බර් 28 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close