අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ හත් වන විධායක ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතා සිදුකළ කතාව

අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ හත් වන විධායක ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතා සිදුකළ කතාව

 

New-President

2019.11.18 වන දින ස්වර්ණමාලී චෛත්‍යරාජයාණන් වහන්සේ අබියස සිට

මහා නායක ස්වාමින් වහන්සේලා, අනුනායක ස්වාමින් වහන්සේලා ඇතුළු පූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි.

කිතුණු, හින්දු, ඉස්ලාම් හා අනෙකුත් ආගමික පූජකතුමන්ලාගෙන් ද අවසරයි.

ශ්‍රී ලංකාවේ පස් වන විධායක ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමනි,

ගරු අග්‍රාමාත්‍යතුමනි,

අග්‍රවිනිශ්චයකාරතුමනි,

කොමසාරිස්වරුනි,

තානාපතිවරුනි,

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු සියලුම මහජන නියෝජිතවරුනි,

ආරාධිත අමුත්තනි,

සියලු ශ්‍රී ලාංකීය පුරවැසියනි,

බුදුන් වහන්සේගේ ද්‍රෝණයක් සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කොට ඉදි කරන ලද මේ ඓතිහාසික ස්වර්ණමාලී මහ සෑ පුදබිමේ සිට ඔබව අමතන්නට ලැබීම මා ලද සුවිශේෂී භාග්‍යයක්. ශ්‍රී ලාංකේය රාජ වංශයේ ශ්‍රේෂ්ඨතම නරපතියකු වන දුටුගැමුණු මහ රජුන්ගේ පිළිරුව අභියස සිට ජාතිය අමතන්නට ලැබී තිබෙන්නේ මේ රටේ බහුතරයක් ජනතාව විසින් මට ලබාදුන් ඓතිහාසික ජනවරම නිසයි. අද මා ඔබ හමු වන්නේ ඔබ සියලු දෙනාම ආදරය කරන මේ මාතෘභූමියේ විධායක ජනාධිපතිවරයා, සේනාධිනායකයා මෙන් ම ඔබේත් ඔබේ දූ දරුවන්ගේත් ආරක්ෂාවේ වගකීම භාර ගන්නා ආරක්ෂක ඇමැතිවරයා වශයෙන්.

සියල්ලන්නටම පෙර මා ඉතා ගෞරවයෙන් සඳහන් කරන්නට කැමැතියි, මේ මැතිවරණය ජයග්‍රහණය සඳහා වූ සුවිශේෂීම පිටුවහල වූයේ අපේ රටේ සිවු දිග වැඩවසන ගරුතර මහා සංඝරත්නය විසින් මට ලබාදුන් ආශිර්වාදය නිසා බව. මේ ජයග්‍රහණයේ ප්‍රධානතම සාධකය වන්නේ මේ රටේ බහුතර සිංහල ජනතාව බව මම මුල සිටම දැන සිටියා. සිංහල ජනතාවගේ සහායෙන් පමණක් ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ හැකිව තිබුණු බව මා දැන සිටියත් මා දමිළ හා මුස්ලිම් ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කළා ඔබත් ඒ ජයග්‍රහණයේ කොටස්කරුවන් වන්නට කියා. එයට ප්‍රතිචාරය නම් මා අපේක්‍ෂා කළ මට්ටමට තිබුණේ නැහැ. එහෙත් මා ඔබේ නව ජනාධිපතිවරයා වශයෙන් යළිත් ඉල්ලා සිටින්නේ මගේ රටේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් සැබෑ ශ්‍රී ලාංකිකයන් ලෙස එකට මා සමඟ එක් වන ලෙසයි. මා වෙනුවෙන් ඡන්දය භාවිත කළ සියලුම ඡන්ද දායකයන්ට මා මේ අවස්ථාවේ මාගේ ස්තූතිය හා ගෞරවය පුද කරනවා.

එමෙන්ම මා වෙනුවෙන් ඡන්දය භාවිත කළත් නොකළත් ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද අයිතිය ගරු කරමින් කවර හෝ අපේක්ෂකයකු වෙනුවෙන් ඔබේ වටිනා ඡන්දය භාවිත කළ අනෙකුත් ඡන්ද දායකයන්ටත් මා ස්තූතිවන්ත වෙනවා. දකුණේ සිංහල බෞද්ධ පවුලකින් පැවැත එන මම අධ්‍යාපනය ලැබුයේත් ලංකාවේ ප්‍රධාන පෙළේ බෞද්ධ පාසලක් වන කොළඹ ආනන්ද මහා විද්‍යාලයෙන්. ඒ නිසා බෞද්ධ දර්ශනය හැමවිටම මගේ සිතුවිලිවලට හා ගතිපැවැතුම්වලට එක් වී තිබෙනවා. බෞද්ධ දර්ශනය තුළ හිමි වන්නේ නීතිය යුක්තිය හා සාධාරණත්වය සහතික වන ධර්මානුකූල රාජ්‍යයක්. සියලුම ජාතිකයන්ට සියලුම ආගමිකයන්ට ක්ෂේමභූමියක් වූ පාලන තන්ත්‍රයක්. මගේ ධූර කාලය තුළ මේ රටේ බෞද්ධ දර්ශනය ආරක්ෂා කොට පෝෂණය කිරීමට මම ඇප කැප වී සිටිනවා.

වසර දහස් ගණනක ඉතිහාසයක් ඇති සිංහල සංස්කෘතිය හා උරුමයන් අප හැමවිටම ආරක්ෂා කළ යුතුයි. ඒ නිසා අපේ සාරධර්ම පාරම්පරික සිරිත් විරිත් හා අපේකම ආරක්ෂා කිරීමට රාජ්‍ය අනුග්‍රහය ලබා දෙනවා. ඉතිහාසය පුරා මේ රටේ ප්‍රධාන සංස්කෘතිය හා බැඳි සාමයෙන් සහජීවනයෙන් ජීවත් වූ සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන්ට, ආගමික ජාතික අනන්‍යතාවන් රැකගෙන ගෞරවාන්විතව ජීවත් වීමට ඇති අයිතිය මම හැමවිටම සුරකිනවා. මැතිවරණ ව්‍යාපාරය පුරා මට අයෝමය ශක්තියක් වූ මගේ ජයග්‍රහණය වෙනුවෙන් ඇප කැප වී ක්‍රියා කළ ශ්‍රී ලංකාවේ පස් වන විධායක ජනාධිපති පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමාට මගේ ගෞරව පූර්වක ස්තූතිය පුද කරනවා. ඒ සමඟ ම මම ඔබතුමාට සුබ උපන්දිනයක් වේවායි ප්‍රාර්ථනා කරනවා.

මගේ ජයග්‍රහණයට විශාල ශක්තියක් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ යාන්ත්‍රණයේ නිර්මාතෘවරයා වන පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාටත් විශේෂ ස්තූතියක් මා මෙම අවස්ථාවේ පුද කරන්නට කැමැතියි. පක්ෂයේ සභාපතිතුමා මහලේකම්තුමා ඇතු`ථ සියලුම නිලධාරීන් මහජන නියෝජිතයන් හා සාමාජිකයන්ටත් මා ස්තූති කරන්නට කැමැතියි. මට සහාය දීමට එක් වී මෙම මැතිවරණ ව්‍යාපාරය තුළ සුවිශේෂ කාර්යභාරයක් ඉටු කළ හැමදාමත් අප සමඟ සිටි සියලුම දේශපාලන පක්ෂවල නායකයන්ටත් එම පක්ෂවල නිලධාරීන් හා සාමාජිකයන්ටත් මේ අවස්ථාවේ මගේ හෘදයංගම ස්තූතිය පුද කරනවා. ඒවගේම මේ මැතිවරණ ව්‍යාපාරය තුළ අප හා එක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එහි නායකයන් දැක්වූ සහායත් මෙහිදී සිහිපත් කරනවා. මෙම මැතිවරණයේ දී රටේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන පුරවැසියන් අතර වෙන කවරදාවත් නැති උද්‍යෝගයක් අපි දුටුවා. කිසිදු දේශපාලන පක්ෂයක් වෙනුවෙන් මින් පෙර මැතිවරණ ක්‍රියාවලියකට සහභාගි නොවූ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මෙවර අප වෙනුවෙන් ස්වෙච්ඡාවෙන් වැඩ කළා. වියත් මග වැනි වෘත්තියවේදීන්ගේ සංවිධාන, විවිධ ජාතික සංවිධාන, ව්‍යාපාරිකයන්, වෘත්තිකයන්, විද්වතුන්, කලාකරුවන්, සමාජ ජාල ක්‍රියාකාරිකයන් ඡන්දය දීම සඳහා ම ලංකාවට පැමිණි අපේ විදේශගත ශ්‍රමිකයන් මෙන්ම තරුණ පරපුර මෙම මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් දුන් සුවිශේෂී දායකත්වය මා අගය කරනවා. ඔවුන් බොහෝ දෙනෙක් පෞද්ගලිකව මා හමු වී නැතත් මේ අවස්ථාවේ රට වෙනුවෙන් ඔවුන්ගේ යුතුකම කැපවීමෙන් ඉටු කළා. ඒ සියලු දෙනාටම මේ අවස්ථාවේ මගේ ස්තූතිය පුද කරනවා.

දැන් අපිට තිබෙන්නේ ජාතියක් වශයෙන් එකට එක්වී මේ රට ගොඩනැගීමේ වගකීමයි. ඡන්දය භාවිත කළ ඔබ විසින් මේ ජනවරම මට ලබාදී තිබෙන්නේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය හරහා අප විසින් රටට යෝජනා කළ ජනතාව විසින් ජනතාව උදෙසා සකස් කළ ජනතා කේන්ද්‍රීය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමයි. එය මේ රටේ ඒකීයත්වය ස්වෛරීත්වය හා ආරක්‍ෂාව සුරක්ෂිත කරන වැඩපිළිවෙළ. මේ රටේ ජීවත් වන සියලුම පුරවැසියන්ගේ අපේක්ෂා ඉටු කරන වැඩපිළිවෙළක්. අනාගත පරපුරට ආඩම්බරයෙන් ජීවත් විය හැකි සෞභාග්‍යමත් දේශයක් ගොඩනංවන වැඩපිළිවෙළක්. මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අඩංගු වන සියලු කරුණු මගේ ධූර කාලය තුළ ඉටු කිරීමට මම කටයුතු කරනවා.

ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීම මගේ රජයේ මූලික වගකීමක් ලෙස මා සලකනවා. අපේ මව්බිම ත්‍රස්තවාදයෙන්, පාතාල ක්‍රියාකාරකම්වලින්, සොරබියෙන්, කප්පම්කරුවන්ගෙන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන්, කාන්තා හා ළමා හිංසනයෙන් තොර සුරක්ෂිත රටක් නිර්මාණයට අවශ්‍ය රාජ්‍ය ආරක්‍ෂක යාන්ත්‍රණය අපි යළිත් ශක්තිමත්ව ගොඩනඟනවා. අපි සෑම රටක් සමඟ ම මිත්‍රශීලීව කටයුතු කරන්නට බලාපොරොත්තු වෙනවා. ලෝක දේශපාලනය තුළ විවිධ ජාතීන් අතර බල අරගලයන්ට මැදි වන්නට අපිට අවශ්‍යතාවක් නැහැ. We want to remain neutral in our foreign relations and stay out of any conflicts among the world powers.අප සමඟ සම්බන්ධතා පැවැත්වීමේ දී අපේ රටේ ඒකීයත්වයට හා ස්වෛරිත්වයට ගරු කරන ලෙස අපි සියලුම රටවලින් ඉල්ලා සිටිනවා.

අනාගත පරපුර වෙනුවෙන් පරිසරය සුරැකීම අපේ මූලික වගකීමක්. ඒ නිසා එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන අරමුණු ඉටු කිරීමේ දී ලෝකයේ ඉදිරියෙන්ම සිටින රටක් බවට ලංකාව පත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. We will have our fullest commitment to achieve sustainable development goals of United Nations. මේ මැතිවරණය ආරම්භයේ සිටම අපි මේ රටේ දේශපාලන සංස්කෘතියේ වෙනසක් ඇති කරන්නට කැප වුණා. ප්‍රතිවාදීන්ට අපහාස නොකර ප්ලාස්ටික් පොලිතින්වලින් තොර පරිසර හිතකාමී මැතිවරණ ව්‍යාපාරයක් හරහා අන් සියලුදෙනාටම ආදර්ශයක් සපයන්නට අපට පුළුවන් වුණා. රාජ්‍ය පාලනය තුළත් ඒ ආදර්ශමත්භාවය දිගටම පවත්වා ගෙන යන්නට මම ක්‍රියා කරනවා. නීතියේ ආධිපත්‍යයට ගරු කරන, සමාජ සාධාරණත්වය සුරකින, දූෂණයෙන් වංචාවෙන් තොර සැබෑ ජනතා සේවයට කැපැවුණ වෘත්තිමය හා කාර්යක්ෂම රාජ්‍ය තන්ත්‍රයක් යළි මේ රටේ ස්ථාපිත කරන්නට මම ඔබට පොරොන්දු වෙනවා.

ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ පොරොන්දු වුණු ආකාරයටම අපේ පාලන ක්‍රමය විවිධ වගකීම් පැවැරීමේ දී හැකියාවට හා දැනුමට හැමවිටම මුල්තැන ලබාදෙනවා. The government
should always set an example to the society. Professionalism and efficiency should be the
cornerstone of government administrations meritocracy and technocracy should be
promoted all times. Corruption will never tolerate under my administration. අපේ අනාගත පරපුර වෙනුවෙන් ඉටු කිරීමට වගකීම් රාශියක් අපි සතුව තිබෙනවා. ගෝලීය නව ආර්ථික ප්‍රවණතාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා ඔවුන් දැනුමෙන් සන්නද්ධ කිරීමට හා ඔවුන්ගේ කුසලතා වර්ධනයට උපකාර කිරීමට අපි ප්‍රමුඛත්වයක් දී කටයුතු කරනවා. 21 වන ශතවර්ෂයේ අභියෝගයන්ට මුහුණ දීමට අපේ ජනතාව සූදානම් කිරීම සඳහා රටේ සෑම ක්ෂේත්‍රයකම නව තාක්ෂණය භාවිතාව පුළුල් කරනවා. අපගේ සමස්ත ජීවන රටාව තුළම ගුණගරුක බව නීතිගරුක බව හා විනයගරුක බව රකින සමාජයක් ගොඩනැඟීම සඳහා ඔබ සියලුදෙනාගේම සහාය මම බලාපොරොත්තු වෙනවා.

ජනාධිපතිවරයා වශයෙන් මගේ වගකීම වන්නේ රටේ සියලුම ජනතාව වෙනුවෙන් සේවය කිරීමයි. ඒ අනුව මට ඡන්දය දුන් අය මෙන් ම නොදුන් සියලුදෙනාගේම පුරවැසි අයිතිවාසිකම් මම ආරක්ෂා කරනවා. අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුකූලව ජනතා අපේක්ෂාවන් ඉටු කරන්නට මම සැමවිටම කැපවෙනවා. අපේ ඉදිරියේ විශාල වගකීම් සම්භාරයක් තිබෙනවා. විශාල වැඩකොටසක් කෙටිකලක් තුළ ඉටු කරන්නට තිබෙනවා. උවමනාව තිබෙනවා නම් අපට කරන්නට බැරි දෙයක් නැහැ. ජයග්‍රහණය කළ නොහැකි අභියෝගයක් නැහැ. රට ගොඩනැඟීම සඳහා අවශ්‍ය කරන දැක්ම අප සතුව තිබෙනවා. ඒ සඳහා සැලැසුම් සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය හරහා අපි ඔබට ඉදිරිපත් කර තිබෙනවා.

මා මේ රටේ විධායක ජනාධිපතිවරයා යි. රටේ යහපත වෙනුවෙන් මගේ විධායක බලතල ක්‍රියාත්මක කිරීමට මම කිසිවිටක පසුබට වන්නේ නැහැ. ඒ අනුව සෞභාග්‍යමත් දේශයක් ගොඩනැඟීම සඳහා ජනතාව විසින් ලබා දී ඇති මෙම ඓතිහාසික ජනවරම ක්‍රියාත්මක කිරීම සඳහා මගේ ප්‍රතිපත්තිය අනුව කටයුතු කළ හැකි නව රජයක් මා පිහිටුවනවා.

මම මගේ රටට ආදරය කරනවා. මම මගේ රට ගැන ආඩම්බර වෙනවා. මට මගේ රට ගැන දැක්මක් තිබෙනවා. අනාගත පරපුර වෙනුවෙන් සෞභාග්‍යමත් දේශයක් ගොඩනැඟීම සඳහා මා සමඟ එක්වන මෙන් සියලුම දේශප්‍රේමී ශ්‍රී ලාංකික ජනතාවගෙන් මා ඉල්ලා සිටිනවා.

ඔබ සැමට ස්තූතියි.

තෙරුවන් සරණයි.

Print Friendly, PDF & Email
Please follow and like us:

Close