විදෙස් ගත ශ්‍රි ලාංකිකයන්ගේ සහය සිය මව් රටට සෘජුවම ලබා ගැනීමේ නව වැඩ සටහනක් විදේශ අමාත්‍යංශයෙන් ක්‍රියාත්මකයි

විදෙස් ගත ශ්‍රි ලාංකිකයන්ගේ සහය සිය මව් රටට සෘජුවම ලබා ගැනීමේ නව වැඩ සටහනක් විදේශ අමාත්‍යංශයෙන් ක්‍රියාත්මකයි

 විදේශයන්හි ජිවත්වන ශ්‍රි ලාංකික ප්‍රජාව සමග සෘජු සබදතා පවත්වා ගනිමින් ඔවුන් හරහා එරටවල විවිධ සහයෝගයන් ශ්‍රි ලංකාවට ලබා ගැනීමේ නව වැඩ පිළිවෙලක් විදේශ අමාත්‍යංශය මගින් ජූලි පළමුවැනිදා ආරම්භ කළේය. විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ උපදෙස් හා ම පෙන්වීම යටතේ ආරම්භ කල මෙම වැඩ සටහනේ පළමු වැන්න සිංගප්පූරුව සහ බෲනායි දරුස්සලාම් සමග පැවැත්විණ. සිංගප්පූරුවේ සහ බෲනායි දරුස්සලාම් හි වෙසෙන බෞද්ධ භික්ෂූන් වහන්සේලා හා  අනෙකුත් ආගමික නායකයින් මෙන්ම එරට සිටින ව්‍යාපාරික ප්‍රජාව හා සාමාන්‍ය ජනතාවද සමග සූම් තාක්ෂණය ඔස්සේ අමාත්‍යවරයා සෘජුවම සම්බන්ධ වී කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත්ව ඇති රට යලි යථා තත්වයට පත් කර ගැනීමට සහය ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය. මෙම අන්තර් ක්‍රියාකාරී සැසිවාරයට විදේශ අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා සමඟ කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා සහ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා ද ඇතුළුව අමාත්‍යංශයේ ඉහළ පෙළේ නිලධාරින් පිරිසක් සම්බන්ධ වී විදෙස් ගත  ශ්‍රී ලාංකිකයන් මව්බිම සමඟ නැවත සම්බන්ධ කිරීම සහ ශ්‍රී ලංකාව සහ ඔවුන්ගේ සත්කාරක රටවල් අතර දේශසීමා ඉක්මවා පැවැත්වෙන සබඳතා ප්‍රවර්ධනය කිරීම පිළිබඳ ඔවුන්ගේ තීරණාත්මක කාර්යභාරය ඉටුකිරීම පිණිස නිරන්තරව මෙවැනි  අන්තර්ක්‍රියා  සඳහා සාකච්ඡා මාලාවක් පැවැත්වීමට මෙම නව වැඩ පිළිවෙල යටතේ පියවර ගෙන තිබේ.

විදේශ අමාත්‍ය ගුණවර්ධන මහතා මෙහිදී අදහස් දක්වමින්  ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 වසංගතයට එරෙහි සටනේ දී නන් අයුරින් ලබාදුන් සැලකිය යුතු නොමසුරු දායකත්වය සහ මෙම අභියෝගාත්මක කාල පරිච්ඡේදයේ දී රටට හදිසි වෛද්‍ය සැපයුම් ලබා දීම සඳහා ඔවුන්ගේ අඛණ්ඩ සහයෝගය ලබා දීම වෙනුවෙන් සිංගප්පූරුවේ සහ බෲනායි දරුස්සලාම් හි ශ්‍රී ලාංකික ප්‍රජාවට ස්තූතිය පුද කළේය.

සිංගප්පූරුවේ වෙසෙන මහා සංඝයා වහන්සේ ඇතුළු ශ්‍රී ලාංකික ප්‍රජාව දෙරට අතර සම්බන්ධතාවයක් ගොඩනඟා ගැනීම සඳහා ඉතා ඵලදායී පාලමක් වී ඇති බව අවධාරණය කල අමාත්‍යවරයා  ආර්ථික, සමාජීය හෝ සංස්කෘතික වේවා සෑම ක්ෂේත්‍රයකම පවතින අවස්ථාවන් අත්පත් කර ගැනීම සහ ශ්‍රී ලංකාවේ ප්‍රගතිය හා සමෘද්ධිය සඳහා දායක වීම සඳහා වර්තමාන සන්දර්භය තුළ ඊටත් වඩා ශක්තිමත් ලෙස එම මාවතේ ගමන් කරන ලෙස සිංගප්පූරුවේ සිටින ශ්‍රි ලාංකිකයන් ගෙන්  ඉල්ලා සිටියේය.

ආරම්භක අවධියේ සිටම මෙරටේ කැපී පෙනෙන සංවර්ධනයක් සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දුන් සිංගප්පූරුවේ විචිත්‍රවත් ශ්‍රී ලාංකික ප්‍රජාව පිළිබඳව ද සිහිපත් කළ එතුමා, සිංගප්පූරුවේ ශ්‍රී ලාංකික ප්‍රජාව සම්බන්ධ කර ගනිමින් දෙරට අතර අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සබඳතා ගොඩනඟා ගැනීම සඳහා මෙම උදාර සබඳතා තවමත් අවස්ථාව තිබෙන බවටද  බලාපොරොත්තු පළ කළේය.

ආසියානු රටවල් සමඟ ආර්ථික ඒකාබද්ධතාවය සඳහා ඉමහත් අවස්ථා පවතින බව මෙහිදී අවධාරණය කල, කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසුරිය මහතා පෙන්වා දුන්නේ මෙම ප්‍රධාන ආසියාන් රටවල් දෙක සමඟ සම්බන්ධ වීමෙන් ශ්‍රී ලංකාවට පූර්ණ ප්‍රතිලාභ ලබා ගැනීම සහතික කිරීම පිණිස සිංගප්පූරුවේ සහ බෲනායි දරුස්සලාම් හි විදේශීය ශ්‍රී ලාංකිකයින්ගේ අඛණ්ඩ සහාය ඉතා වැදගත් වන බවය.

මෙම සමාරම්භක සාකච්ඡාව සම්බන්ධීකරණය කළ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා සිය අදහස් දක්වමින්, ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රයත්න සඳහා අන් කවරදාකටත් වඩා විදෙස් ගත ශ්‍රි ලාංකිකයන් ගෙන් පුළුල් සහයෝගයක් ලබා දීමේ අවශ්‍යතාව අවධාරණය කළ අතර, වැඩි ආර්ථික දායකත්වයක් මෙන්ම සමාජයේ ඔවුන්ගේ වටිනා කාර්යභාරය ඉටු කිරීම සඳහා වඩාත් පුළුල් ලෙස ඉදිරිපත් වන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය.

සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ශෂිකලා ප්‍රේමවර්ධන මහත්මිය සිය කෙටි දේශනයේ දී, සිංගප්පූරුවේ සහ බෲනායි දරුස්සලාම් හි අතරමංව සිටි ශ්‍රී ලාංකිකයන්ගේ සුභසාධනය පිළිබඳව සොයා බැලීමේ දී සහ වසංගත කාලය තුළ ඔවුන් නැවත සියරට පැමිණවීමේ ප්‍රයත්නවල දී මහ කොමසාරිස් කාර්යාලය මුහුණ දුන් අභියෝග රැසක් ජය ගැනීම සඳහා ලබා දුන් සහයෝගය සහ දායකත්වය පිළිබඳව සිංගප්පූරුවේ ශ්‍රී ලාංකික ප්‍රජාවට සිය අවංක ස්තූතිය පුද කළාය. ලැබෙන පරිත්‍යාග හා දායකත්වයන් ලබා දීමේ දී, ඒවායෙහි කාර්යක්‍ෂම භාවිතය සඳහා වඩා හොඳ සම්බන්ධීකරණයක අවශ්‍යතාව ද ඇය අවධාරණය කළාය.

මෙම සාකච්ඡාවට සහභාගී වූ මහා සංඝයා වහන්සේලා සහ අනෙකුත් ආගමික නායකයින් මෙන්ම සිංගප්පූරුවේ සහ බෲනායි දරුස්සලාම් හි ප්‍රජා හා ව්‍යාපාරික සංගම් 15 කට අධික සංඛ්‍යාවක නියෝජිතයින් සිය ශක්තිමත් සහයෝගය පළ කළ අතර වර්තමාන කොවිඩ්-19 වසංගතය සමඟ සටන් කිරීම සඳහා වන ශ්‍රී ලංකාවේ ප්‍රයත්නයන් වෙනුවෙන් විවිධාකාර පරිත්‍යාග හා දායකත්වයන් ලබා දීමට ප්‍රතිඥා දුන්හ. මව්බිමේ අභිවෘද්ධිය සඳහා හැකි සෑම ආකාරයකින්ම ඔවුන්ගේ පූර්ණ සහාය හා සහයෝගීතාව ලබා දීම සඳහා විදේශ අමාත්‍යංශය සහ සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සමඟ සමීපව කටයුතු කිරීමට ද ඔවුහු යළි සහතික වූහ.

විදේශ ශ්‍රී ලාංකිකයන් සමඟ සම්බන්ධ වීමේ මෙම සමාරම්භක සැසිවාරය සඳහා අතිරේක ලේකම් - ආර්ථික කටයුතු පී.එම්. අම්සා මහතා, අධ්‍යක්ෂ ජනරාල් - කොන්සියුලර් කටයුතු සහ එතෙර සිටින ශ්‍රී ලාංකික අංශය විශ්වනාත් අපොන්සු මහතා සහ විදේශ අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් කිහිප දෙනෙක් විදේශීය ශ්‍රී ලාංකිකයන් සමඟ නියැලීමේ මෙම සමාරම්භක අවස්ථාව සඳහා සහභාගී විය.

මෙම අවස්ථාවට සහභාගී වූ මහා සංඝයා වහන්සේලා විසින් පිරිත් සජ්ඣායනා කිරීමෙන් අනතුරුව උත්සවය අවසන් විය.

සිංගප්පූරුවේ දැනට ශ්‍රී ලාංකිකයන් සහ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති පුද්ගලයින් 10,000 කින් පමණ සමන්විත වන විචිත්‍රවත් ප්‍රජාවක් සිටින අතර, විදේශීය ශ්‍රී ලාංකිකයන් 500 කට ආසන්න සංඛ්‍යාවක් බෲනායි දරුස්සලාම් හි විවිධ වෘත්තීන්හි නිරත වෙති.

විදේශ අමාත්‍යාංශය

කොළඹ

2021 ජූලි 04 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close