​බිම්ස්ටෙක් සමුළුවට සමගාමීව, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මැතිතුමා සහ ශ්‍රී ලංකාවේ  විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා  අතර සාකච්ඡා පැවැත්වේ

​බිම්ස්ටෙක් සමුළුවට සමගාමීව, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මැතිතුමා සහ ශ්‍රී ලංකාවේ  විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා  අතර සාකච්ඡා පැවැත්වේ

කොළඹ පැවැත්වෙන පස්වැනි බිම්ස්ටෙක් සමුළුවට සහභාගි වීම සඳහා තෙදින නිල සංචාරයක නිරතව සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මැතිතුමා, 2022 මාර්තු 28 දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා හමුවිය.

මෙම සමුළුවට සමගාමීව සාකච්ඡාවක නිරත වූ අමාත්‍යවරු දෙදෙනා, අනාදිමත් කාලයක පටන් දෙරට අත්‍යන්ත වශයෙන්  සම්බන්ධ කොට ඇති, කොළඹ සහ නවදිල්ලි නුවර අතර පවත්නා දේශපාලන, ආර්ථික, සමාජීය සහ සංස්කෘතික සබඳතාවල පුළුල් වපසැරිය පිළිබඳව සමාලෝචනය කළහ.

දෙරට අතර පවත්නා සබඳතා පිළිබඳ කරුණු විමසූ නායකයන් දෙදෙනා, දිනෙන් දින වර්ධනය වන ද්විමාර්ග බැඳීම් සම්බන්ධයෙන් සිය තෘප්තිය පළ කළ අතර, දෙරට භුක්ති විඳින ශක්තිමත් සබඳතා තවදුරටත් ඉහළ නැංවීම සඳහා පවතින මාර්ග සහ විධික්‍රම ගවේෂණය කිරීමට  තීරණය කළහ.

අතිගරු ජනාධිපතිවරයා සහ රජය, පසුගිය සතියේ දී දෙමළ ජාතික සන්ධානය (TNA) සමඟ පැවැත්වූ සාර්ථක සාකච්ඡාව පිළිබඳව  විස්තර කළ අමාත්‍ය පීරිස් මැතිතුමා, සංහිඳියාව සම්බන්ධයෙන් උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල වෙසෙන ජනතාව දක්වන උද්‍යෝගය ජනාධිපතිවරයාගේ ඇගයුමට ලක් වූ බව සඳහන් කළේ ය.

ශ්‍රී ලංකාවේ වෙසෙන දෙමළ ජනතාව හා සබැඳි ගැටලු විසඳීම සඳහා මෙන්ම, එම ගැටලුවලට දිගුකාලීන විසඳුමක් ලබා ගැනීම සඳහා  ශ්‍රී ලංකා රජය ලබා ඇති ධනාත්මක ප්‍රගතිය අමාත්‍ය ජයශංකර් මැතිතුමාගේ පැසසුමට ලක්විය.

ඉහළ පෙළේ නිරතවීම් අඛණ්ඩව පවත්වාගෙන යාමේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළ අමාත්‍ය පීරිස් මැතිතුමා, දෙරට අතර පවත්නා  සබඳතා අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිලාභදායක වන බවද ප්‍රකාශ කළේ ය.

අභියෝග රැසක් මධ්‍යයේ බිම්ස්ටෙක් සමුළුව සංවිධානය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව වෙත සිය ස්තුතිය පළ කළ ආචාර්ය ජයශංකර්  මැතිතුමා, ඉදිරියේ දී පැවැත්වීමට නියමිත සමුළුව ඵලදායී සමුළුවක් වනු ඇතැයි විශ්වාසය පළ කළේ ය.

ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරභාවය තහවුරු කිරීම සඳහා ඉන්දීය රජයේ සහය ලබා දෙන බවට සහතික වූ ඉන්දීය අමාත්‍යවරයා,  ශ්‍රී ලංකාවේ සමීප අසල්වැසියෙකු වන ඉන්දියාව, ශ්‍රී ලංකාවේ සැබෑ ගැටලු පිළිබඳව අවබෝධ කරගෙන සිටින බව යළිදු අවධාරණය කළේ ය.

ආචාර්ය ජයශංකර් මැතිතුමා මෙම හමුවට පෙර අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ  මැතිතුමා හමු වූ අතර, අනතුරුව ගරු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා ද හමුවී සාකච්ඡාවක් පැවැත්වී ය. ගරු ධීවර කටයුතු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මැතිතුමා ද හමු වූ ජයශංකර් මැතිතුමා, ධීවර ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වී ය.

දෙරට අතර පවත්නා බෞද්ධාගමික සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රතිපාදන සම්පාදනය කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන්  තැබීමේ අවස්ථාවකට ද ආචාර්ය ජයශංකර් මැතිතුමා සහභාගී වූ අතර, අරලියගහ මන්දිරයේ පැවති මෙම අවස්ථාව සඳහා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ද සහභාගී විය. 2020 වසරේ සැප්තැම්බර් මස දෙරටේ අග්‍රාමාත්‍යවරුන් දෙදෙනා අතර අතථ්‍ය අයුරින් පවත්වන ලද   ද්විපාර්ශ්වික සමුළුවේ දී ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝධි මැතිතුමා මෙම ප්‍රදානය පිළිබඳව ප්‍රතිඥාවක් ලබා දුන්නේ ය.

ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සමඟ එක් වූ අමාත්‍ය ජයශංකර් මැතිතුමා, ඉන්දීය රජයේ අරමුදල් යටතේ ඉදිකරන ලද  යාපනය සංස්කෘතික මධ්‍යස්ථානය (JCC) අතථ්‍ය අයුරින් විවෘත කිරීමේ අවස්ථාව සඳහා ද සහභාගී විය. තවද, පළමු වසර 5 තුළ යාපනය සංස්කෘතික මධ්‍යස්ථානයේ මෙහෙයුම් පිරිවැය සඳහා අවශ්‍ය වන වැඩිදුර මූල්‍ය ආධාර පිළිබඳ රාජ්‍යතාන්ත්‍රික සටහනක් ද මෙහිදී හුවමාරු කරගන්නා ලදී.

අධ්‍යාපන, සංස්කෘතික, ආරක්‍ෂක, විදුලිබල, ධීවර සහ තාක්‍ෂණ යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් පවත්නා සහයෝගීතාව තීව්‍ර කිරීමේ අරමුණින් කටයුතු කිරීමට අපේක්ෂිත දෙරටේ නියෝජිතායතන අතර ක්‍රියාත්මක වන තවත්ගි  විසුම් හතකට අත්සන් තැබීමේ අවස්ථාවට ද  විදේශ අමාත්‍යවරුන් දෙදෙනා සහභාගී වූහ.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2022 මාර්තු 29 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close