සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපතිවරයා අක්තපත්‍ර පිටපත් ඉදිරිපත් කරයි

 සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපතිවරයා අක්තපත්‍ර පිටපත් ඉදිරිපත් කරයි

සෞදි අරාබි රාජ්‍යයේ නම්කළ ශ්‍රී ලංකා තානාපති පී.එම්. අම්සා මැතිතුමා විසින් සිය අක්තපත්‍රවල විවෘත පිටපත 2021 නොවැම්බර් 02 වන දින සවුදි අරාබි රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේදී සන්ධාන කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය කලීඩ් බින් ෆයිසල් අල් සිහ්ලි මැතිතුමා වෙත පිළිගන්වනු ලැබී ය.

එහි දී නියෝජ්‍ය අමාත්‍ය කලීඩ් බින් ෆයිසල් අල් සිහ්ලි මැතිතුමා නම්කළ තානාපතිවරයාව උණුසුම් ලෙස පිළිගනිමින් සහ නව පත්වීම සම්බන්ධයෙන්  සුබපැතුම් එක් කරමින්, තානාපති අම්සා මැතිතුමාගේ ධුර කාලය තුළ දෙරට අතර සබඳතා තවදුරටත් වර්ධනය වනු ඇතැයි සෞදි අරාබිය අපේක්ෂා කරන බව ප්‍රකාශ කළේ ය.

ඊට ප්‍රතිචාර වශයෙන් තානාපති අම්සා මැතිතුමා විසින්, තමා පිළිගැනීම සහ සුවිශේෂී කොට සැලකීම වෙනුවෙන් සෞදි අරාබි රාජ්‍යයේ රජය වෙත සිය කෘතඥතාව පළ කරනු ලැබී ය. දෙරට අතර දේශපාලනික සහ ආර්ථික ක්‍ෂේත්‍රවල සහයෝගිතාව ඉහළ නැංවීමට තමන් කටයුතු කරන බව ද එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය. සවුදි අරාබි රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ සුබසාධනය සඳහා ද තම ප්‍රමුඛතාවය ලබාදෙන බව එතුමා සඳහන් කළේ ය.

අක්තපත්‍ර විවෘත පිටපත භාරදීමේදී නියෝජ්‍ය අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාව අතිශය සුහදශිලී විය. මෙම අවස්ථාවට තානාපතිවරයා සමඟ චාන්සරි ප්‍රධානී දුල්මිත් වරුණ මහතා ද එක් විය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

රියාද්

2021 නොවැම්බර් 05

Print Friendly, PDF & Email
Please follow and like us:

Close