ස්වීඩන තානාපතිවරයා විදේශ අමාත්‍යවරයා හමුවෙයි

ස්වීඩන තානාපතිවරයා විදේශ අමාත්‍යවරයා හමුවෙයි

නවදිල්ලියෙහි ශ්‍රී ලංකාව සඳහා සමගාමීව අක්ත ගන්වන ලද ස්වීඩන් තානාපති ක්ලස් මොලින් මැතිතුමා, 2021 දෙසැම්බර් 2 වැනි බ්‍රහස්පතින්දා දින විදේශ අමාත්‍යංශයේ දී විදේSශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා සමඟ පවත්වන ලද හමුවක දී දෙරටටම අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු පිළිබඳව සාකච්ඡා කළේ ය.

ස්වීඩනයේ අග්‍රාමාත්‍ය ධුරය සඳහා ප්‍රථම වරට කාන්තාවක් තෝරා පත්කරගැනීම සම්බන්ධයෙන් විදේශ අමාත්‍යවරයා ස්වීඩනය වෙත ශ්‍රී ලංකාවේ සුබපැතුම් පිරිනැමීය. සංවර්ධන සහයෝගිතාවයේ පටන් වෙළෙඳ, ආයෝජන සහ සංචාරක සබඳතා ඇතුළත් විචිත්‍රවත් බහුවිධ හවුල්කාරිත්වයක් දක්වා වසර ගණනාවක් මුළුල්ලේ විකාශනය වූ ස්වීඩන- ශ්‍රී ලංකා සබඳතා දෙපාර්ශ්වයේම ඇගයීමට ලක් කෙරිණි. ශ්‍රී ලංකාව තුළ පවත්නා   ස්වීඩන සමාගම් පිළිබඳව සඳහන් කළ තානාපති මොලින් මැතිතුමා, ස්වීඩනයේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල වෙළඳපොළ පුළුල් කිරීම සඳහා සහය වන ‘බිස්නස් ස්වීඩන්’ නමැති සංවිධානය මගින් වෙළඳාම තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා පහසුකම් සැලසෙන බව දන්වා සිටියේ ය.

කොත්මලේ වේල්ල ඉදිකිරීමේ දී සුවිශේෂී සංවර්ධන හවුල්කරුවකු වශයෙන් ස්වීඩනය ලබා දුන් දායකත්වය පිළිබඳව සිහිපත් කළ අමාත්‍ය පීරිස් මැතිතුමා, තිරසාර සංවර්ධනය, නියම තත්ත්වයෙන් යුත් තාක්ෂණය සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ඇතුළු සහයෝගිතා ක්ෂේත්‍රවලට අදාළව  ස්වීඩනය සමඟ සම්බන්ධ වී කටයුතු කිරීම වැඩිදියුණු  කිරීම සඳහා ශ්‍රී ලංකාව  සූදානමින් සිටින බව ප්‍රකාශ කළේ ය. ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව සහ සංවර්ධනය සම්බන්ධයෙන් සිදුවෙමින් පවතින  ප්‍රගතිය පිළිබඳව ද විදේශ අමාත්‍යවරයා ස්වීඩන තානාපතිවරයා දැනුම්වත් කළේ ය.

තානාපති මොලින් මැතිතුමා මෙම සංචාරය අතරතුර දී විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා ද හමුවිය.

විදේශ අමාත්‍යංශය

කොළඹ

2021 දෙසැම්බර් 05 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close