සහයෝගීතාවය සහ ධාරිතා වර්ධනය තුළින් ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව වැඩි දියුණු කිරීම - සංචාරක සේවා සහ ආගන්තුක සත්කාර කළමනාකරණය පිළිබඳ පුහුණු වැඩසටහන

සහයෝගීතාවය සහ ධාරිතා වර්ධනය තුළින් ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව වැඩි දියුණු කිරීම – සංචාරක සේවා සහ ආගන්තුක සත්කාර කළමනාකරණය පිළිබඳ පුහුණු වැඩසටහන

විදේශ කටයුතු දෙපාර්තමේන්තුව - පිලිපීනයේ තාක්ෂණික සහයෝගිතා සංගමය (DFA-TCCP) විසින් ඩී ලේ සාල්-ශාන්ත බෙනිල්ඩ් කොලේජ්හි හෝටල්, ආපනශාලා සහ ආයතන කළමනාකරණය පිළිබඳ පුහුණු පාසල (DLS-CSB SHRIM) සහ මැනිලා හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ එක්ව 2021 නොවැම්බර් 8 සිට12 දක්වා දිනයන්හි දී ශ්‍රී ලාංකීය පාර්ශවකරුවන් තිස් දෙදෙනෙකු (32) සඳහා සංචාරක සේවා සහ ආගන්තුක සත්කාර කළමනාකරණය පිළිබඳ ධාරිතා වර්ධන වැඩසටහනක් අතථ්‍ය අයුරින් ආරම්භ කරන ලදී.

දින පහක් පුරාවට පැවැත්වුණු මෙම පුහුණු පාඨමාලාව හෝටල් කළමනාකරණය, පාරිභෝගික සේවා සහ ආගන්තුක සබඳතා, තිරසාර සංචාරක කළමනාකරණය සහ අර්බුද කළමනාකරණය කෙරෙහි අවධානය යොමු කරමින් සමමුහුර්ත අතථ්‍ය දේශන, සාකච්ඡා, සිද්ධි විශ්ලේෂණ, ඉදිරිපත් කිරීම්, ආදර්ශන වැඩසටහන් ආදියෙන් සමන්විත විය. DLS-CSB SHRIM හි පීඨයට අදාළ කෘත්‍ය ලේඛනය යටතේ සිටින දේශකවරුන් සහ විෂය සම්බන්ධ විශේෂඥයින් විසින් පුහුණු ඒකක සඳහා පහසුකම් සපයන ලදි.

DFA-TCCPහි අධ්‍යක්ෂ ජනරාල් ලිලිබෙත් ඩියාපෙරා මැතිණිය වැඩසටහනේ සමාරම්භක අවස්ථාවේ දී අදහස් දක්වමින්සිය අවශ්‍යතා තක්සේරු කිරීම සඳහා 2019 වසරේ පැවැත්වීමට නියමිත ව තිබූ සංචාරයක් මත පදනම්ව ශ්‍රී ලංකාව සඳහා සිය නියෝජිතායතනයේ තාක්ෂණික ආධාර වැඩසටහනේ දෙවන අදියර වශයෙන් මෙම පුහුණු වැඩසටහන ආරම්භ කෙරුණු බව ප්‍රකාශ කළා ය. මෙම වැඩසටහන පිලිපීනයේ වෙසෙන ශ්‍රී ලාංකීය පාර්ශවකරුවන්ගෙන් සමන්විත නියෝජිතයින් පිරිසක් සමඟ පුහුණු වැඩසටහනක් ලෙස පිලිපීනයේ දී පැවැත්වීමට නියමිතව තිබුණි. එසේ වුවද වත්මන් සීමාවන් එම සංචාරය සඳහා බාධාවක් විය.

අනතුරුව තානාපතිනි ශෝබිනි ගුණසේකර මහත්මිය අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා දෙරටේ ම අත්දැකීම්, විශේෂඥ ඥානය සහ උසස් මට්ටමේ පුහුණුව හුවමාරු කර ගැනීමේ අරමුණින් මෙම ප්‍රයත්නය සඳහා අත්වැල් බැඳගෙන කටයුතු කිරීම පිළිබඳව DFA-TCCP සහ DLS-CSB SHRIM ආයතන මෙන් ම ශ්‍රී ලංකාවේ අදාළ රේඛීය ආයතන වන ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) යන ආයතන වෙත සිය කෘතඥතාව පළ කළාය.

ශ්‍රී ලංකාව සහ පිලිපීනය වැනි සුප්‍රසිද්ධ සංචාරක ගමනාන්තයන් සඳහා ප්‍රධාන ආර්ථික ක්‍රියාකාරකමක් ලෙස මෙම කර්මාන්තයේ වැදගත්කම සළකමින් බාධාවකින් තොරව සංචාරක කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් පෙනී සිටීම සඳහා පාර්ශවකරුවන්ගේ ධාරිතා වර්ධනය කිරීමේ වැදගත්කම ද ඇය අවධාරණය කළා ය. බංග්ලාදේශයේ පිලිපීන තානාපති අතිගරු ඇලන් ඩෙනීගා මැතිතුමා සහ DLS-CSB ශාස්ත්‍රාලයේ උපකුලපති ඇන්ජෙලෝ මාර්කෝ යූ. ලැක්සන් මහතා ද මෙම කටයුත්ත සඳහා සහයෝගය දක්ව බවට දැනුම් දුන්හ.

2021 නොවැම්බර් 19 දින අතථ්‍ය අයුරින් පැවැත්වුණු උපාධි ප්‍රදානෝත්සවයකින් මෙම පුහුණු වැඩසටහන අවසන් විය. මෙම තාක්ෂණික ආධාර වැඩසටහන පිලිපීන විශේෂඥ දැනුම වර්ධනය කර තිබෙන ආසියා සහ පැසිෆික් කලාපයේ සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා තාක්ෂණික ආධාර ලබා දීම අරමුණු කරගත් DFA-TCCP ආයතනය මඟින් පවත්වනු ලබන දකුණු-දකුණු කලාපීය සහයෝගීතා මුලපිරීමකි. දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 60වෙනි සංවත්සරය සැමරීම හේතුවෙන් ද්විපාර්ශ්වික සහයෝගීතාව ඉහළ නැංවීමේ අන්‍යෝන්‍ය ඉලක්කයට අනුකූලව DFA-TCCP ආයතනය විසින් මෙහෙයවනු ලබන ඉහත සඳහන් කළ අංග ඇතුළුව ක්‍රියාකාරකම් මාලාවකින් මෙම වැඩසටහන සමන්විතය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

මැනිලා

2021 නොවැම්බර් 29  වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close