සංචරණ සීමා ලිහිල් කළ ශ්‍රී ලංකාව, ශ්‍රී ලංකාවේ සංචාරයේ නිරත වන ලෙස මාලදිවයින් සංචාරකයන් සහ අනෙකුත් විදේශිකයන්ට ඇරයුම් කරයි

සංචරණ සීමා ලිහිල් කළ ශ්‍රී ලංකාව, ශ්‍රී ලංකාවේ සංචාරයේ නිරත වන ලෙස මාලදිවයින් සංචාරකයන් සහ අනෙකුත් විදේශිකයන්ට ඇරයුම් කරයි

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් සඳහා අනිවාර්ය කොට තිබූ පීසීආර් (PCR) පරීක්ෂණ ඉවත් කිරීම හේතුවෙන් උදා වී ඇති පහසුව, මාලදිවයිනේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ඒ.එම්.ජේ. සාදික් මැතිතුමා විසින් අවධාරණය කරන ලදී.

2022 මාර්තු 01 වැනි අඟහරුවාදා දින, මාලේ හි ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික සංචාරක ක්‍රියාකරුවෙකු වන “ට්‍රැවලර් ග්ලෝබල්” සමාගම යළි විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වූ ශ්‍රී ලංකා තානාපතිවරයා, පූර්ණ එන්නත්කරණයට ලක්වූ විදෙස් සංචාරකයන් මෙරටට පිවිසීමට පෙර පීසීආර් පරීක්ෂණයකට ලක් විය යුතු බවට මින් පෙර ශ්‍රී ලංකා රජය ක්‍රියාත්මක කළ ක්‍රමවේදය මේ වන විට රජය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කොට ඇති බව සඳහන් කළේ ය. ශ්‍රී ලංකාව තම දෙවැනි නිවහන ලෙස සලකන මාලදිවයින් ජාතිකයන්ට පහසුවෙන් මෙම දිවයිනට පැමිණීමට මෙම ක්‍රියාමාර්ගය හරහා බොහෝ පහසුකම් සැලසෙන බවද එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. මාලේ සිට කොළඹ තෙක් දෛනිකව දෙවරක් සහ ඇතැම් දිනවල තෙවරක් ක්‍රියාත්මක වන  ශ්‍රී ලංකන් ගුවන් සේවයට තම අනුග්‍රහය දක්වන ලෙස, මහ කොමසාරිස්වරයා මාලදිවයින් ජාතිකයන් සහ අනෙකුත් විදේශිකයන් දිරිමත් කළේ ය.

ට්‍රැවලර් ග්ලෝබල් කාර්යාලය යළි විවෘත කිරීමේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ශ්‍රී ලංකාව සහ ඉන්දියන් සාගරය සඳහා වූ කලාපීය කළමනාකාර ජයන්ත අබේසිංහ මහතා,  ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ දේශීය කළමනාකාර ෆවුසාන් ෆරෙයිඩ් මහතා,  බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී නවුසර් ෆවුසි මැතිතුමා, සමාගමේ මාලදිවයින් අනුග්‍රාහක සහ ඩොනාඩ් ඉන්වෙස්ට්මන්ට්ස් හි කළමනාකාර අධ්‍යක්ෂ යමීන් ඇඩම් මහතා යනාදීහු  සහභාගී වූහ.

කෙටි පිළිගැනීමේ දේශනයක් පැවැත්වූ ට්‍රැවලර් ග්ලෝබල් හි කළමනාකාර අධ්‍යක්ෂ රිස්මි රෙයාල් මහතා,  ශ්‍රී ලංකන් ගුවන් සේවය ඇතුළු ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර සහ කලාපීය ගුවන් සේවා කිහිපයක් සඳහා ඉහළ කාර්ය සාධනයක් සහිත වඩාත් හොඳ විකුණුම් නියෝජිතයෙකු (PSA) වශයෙන් කටයුතු කිරීමට මෙම සමාගමට හැකියාව ලැබුණු බව සඳහන් කළේ ය.

මෙම අවස්ථාවට මාලදිවයිනේ ප්‍රමුඛ පෙළේ ගුවන් සේවා නියෝජිතයන් සහ සංචාරක නියෝජිතයන් සහභාගී වූහ. සංචරණ සීමා ලිහිල් කිරීම සහ ට්‍රැවලර් ග්ලෝබල් විසින් සපයනු ලබන උසස් සේවාව සහ පහසුකම් හේතුවෙන් බොහෝ මාලදිවයින් ජාතිකයන් සහ විදෙස් ජාතිකයන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණීමට උනන්දු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

 

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

මාලේ

2022 මාර්තු 08 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close