ශ්‍රී ලාංකික චිත්‍රපටයක් වන ‘නෙලා’ රියාද් හි දී තිරගත වේ

ශ්‍රී ලාංකික චිත්‍රපටයක් වන ‘නෙලා’ රියාද් හි දී තිරගත වේ

 සෞදි අරාබි රාජධානියේ ඉන්දියානු තානාපති කාර්යාලය රියාද් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඇතුළු දූත මණ්ඩල කිහිපයක සහයෝගය සහිතව සංවිධානය කරන ලද “තානාපතිවරයාගේ තේරීම: චිත්‍රපට උළෙල” නමැති චිත්‍රපට උළෙලෙ හි අංගයක් ලෙස බෙනට් රත්නායක මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද “නෙලා” නමැති ශ්‍රී ලාංකික චිත්‍රපටය 2021 නොවැම්බර් 28 වැනි දින ප්‍රදර්ශනය කළේය.

රාජ්‍යතාන්ත්‍රික සේවයේ නියුතු පිරිස්, සෞදි අරාබි ජාතිකයින්, ශ්‍රී ලාංකික ප්‍රජාවේ සාමාජිකයින් සහ මෙම රාජධානියේ වෙසෙන විදේශිකයන් කිහිප දෙනෙකු මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.

මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට පෙර තම අදහස් දැක්වූ සෞදි අරාබි රාජධානියේ ශ්‍රී ලංකා තානාපති පී. එම්. අම්සා මැතිතුමා ශ්‍රී ලංකාවේ චිත්‍රපට කර්මාන්තය පිළිබඳව කෙටි හැඳින්වීමක් සිදු කළේය. ශ්‍රී ලංකාවේ ප්‍රථම නිහඬ චිත්‍රපටය වන “රාජකීය වික්‍රමය” 1925 වර්ෂයේ දී තිරගත කිරීමත් සමඟම  ආරම්භ වූ ශ්‍රී ලංකාවේ  සිනමා කර්මාන්තයේ ඉතිහාසය පිළිබඳව එතුමා සඳහන් කළේය. ශ්‍රී ලංකාවේ සිනමා කර්මාන්තයට නව ජීවයක් ලබා දෙමින්  සිය නිර්මාණ සඳහා ජාත්‍යන්තර පිළිගැනීමක් හිමි කර ගත් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා, තිස්ස අබේසේකර මහතා, චන්ද්‍රන් රත්නම් මහතා, ආචාර්ය ඩී.බී. නිහාල්සිංහ මහතා, උදයකාන්ත වර්ණසූරිය මහතා, එච්. ඩී. ප්‍රේමරත්න මහතා, අශෝක හඳගම මහතා, ප්‍රසන්න විතානගේ මහතා සහ විමුක්ති ජයසුන්දර මහතා වැනි ප්‍රවීණ  චිත්‍රපට අධ්‍යක්ෂවරුන් ගේ විශිෂ්ට දායකත්වය පිළිබඳව  ද තානාපතිවරයා මෙහිදී අවධාරණය කළේය. 20 වැනි සියවස මුල් භාගයේ පැවති ශ්‍රී ලංකාවේ තේ වගා යුගය පාදක කරගනිමින් මෙම චිත්‍රපටය නිර්මාණය වී ඇති බවත් අදටත් ඉහළ ගුණාත්මක මට්ටමක් සහ උපරිම මානව මැදිහත්වීමක් යටතේ ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය වන බවත් එමගින් එහි ගුණාත්මකභාවය තහවුරු වී ඇති බවත් තානාපතිවරයා ප්‍රකාශ කළේය.

විවිධ ප්‍රභේදවලින් තෝරාගත් චිත්‍රපට 12 ක් මෙම උළෙල තුළ ප්‍රදර්ශනය කෙරෙන අතර ඉන්දියාවේ ‘නිල් බට්ටේ සන්නාටා’, ඇමරිකා එක්සත් ජනපදයේ ‘හැමිල්ටන්’, සෞදි අරාබියේ ‘ස්කේල්ස්’, ඕස්ට්‍රේලියාවේ ‘ගුරුමුල්’ සහ මෙක්සිකෝවේ ‘මෙසකිට්ස් හාර්ට්’ වැනි කීර්තියට පාත්‍ර වූ චිත්‍රපට ද මීට ඇතුළත් වේ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

රියාද්

2021 දෙසැම්බර් 02 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close