ශ්‍රී ලංකා සමුද්‍ර ආරක්ෂණ බලධාරින් ගේ ධාරිතාව වැඩි දියුණු කිරිමට ඕස්ට්‍රේලියාවෙන් සහය ගැනිමට සාකච්ඡා පැවැත්වේ

ශ්‍රී ලංකා සමුද්‍ර ආරක්ෂණ බලධාරින් ගේ ධාරිතාව වැඩි දියුණු කිරිමට ඕස්ට්‍රේලියාවෙන් සහය ගැනිමට සාකච්ඡා පැවැත්වේ

ශ්‍රී ලංකා සමුද්‍ර ආරක්ෂණ බලධාරීන්ගේ ධාරිතාව වැඩිදියුණු  කිරීමේ ක්‍රම සහ විධි පිළිබඳව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හෝලි මහතා සමග කරුණු හුවමාරු කර ගැනිණ. ඒ අමාත්‍යවරයා හා මහ කොමසාරිස්වරයා ඉකුත් 13 වනදා විදේශ අමාත්‍යංශයේදී හමු වු අවස්ථාවේදීය. පසු ගිය ජුනි මාසයේ දී ඕස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය මාරිස් පේන් මැතිතුමා සමඟ පවත්වන ලද සාර්ථක දුරකථන සංවාදයේ පසුවිපරමක් ලෙස,මෙම සාකච්ඡාව පැවැත්විණ. දෙරට අතර බහුවිධ ක්ෂේත්‍රයන්හි සබඳතා තහවුරු කර ගැනීමේ මාර්ග පිළිබඳව මෙම සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු කෙරිණ. අනාගත සමුද්‍රීය ව්‍යසනයන්ගෙන් සිදුවන හානිය අවම කිරීම සඳහා පුද්ගලික ආරක්ෂක උපකරණ ලබා දීමට ඉදිරිපත්වීම සම්බන්ධයෙන් සහ එම්වී එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනය හේතුවෙන් සිදුකළ වෙරළ පිරිසිදු කිරීමේ කටයුතුවලට සහාය වීම සඳහා ආම්පන්න සැපයීම වෙනුවෙන්ද  අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා ශ්‍රී ලංකාවේ කෘතඥතාව පළ කළේය. සමුද්‍රීය පාරිසරික විපත් පිළිබඳ ගැටලුව සහ මෙවැනි සිදුවීම්වල අහිතකර බලපෑම් අවම කිරීමේ වැදගත්කම පිළිබඳව ඉන්දියන්න් සාගර වටද්දර රටවල සංගමය (IORA) වැනි ජාත්‍යන්තර හා කලාපීය වේදිකා හරහා පුළුල් සංවාදයක් ගොඩනැගීමට මෙහි දී එකඟ වන ලදි.

කොවිඩ්-19 වසංගත ව්‍යාප්තිය අවම කිරීම සඳහා මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හැකියාව වැඩි දියුණු කිරීම සඳහා ඕස්ට්‍රේලියාව දක්වන අඛණ්ඩ සහයෝගය සහ ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනය ශක්තිමත් කිරීම සඳහා ඕස්ට්‍රේලියානු විදේශ සංවර්ධන සහාය යටතේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති පිළිබඳව විදේශ අමාත්‍යවරයා අගය කළේය.

දෙරටේ අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණුවලට අනුකූලව, ද්විපාර්ශ්වික හවුල්කාරිත්වය ගැඹුරු කිරීම හා ව්‍යාප්ත කිරීම සඳහා ප්‍රධාන වේදිකා ලෙස දෙරට අතර දේශපාලන, ආර්ථික හා සමුද්‍රීය අංශයන්හි ද්විපාර්ශ්වික උපදේශන කැඳවීම සඳහා ප්‍රමුඛතාව ලබා දීමට දෙපාර්ශ්වයම එකඟ විය.ව්‍යුහගත යාන්ත්‍රණයක් තුළින් විද්‍යා හා තාක්‍ෂණ ක්‍ෂේත්‍රයේ සහයෝගීතාව ඉහළ නැංවීම, වියහැකි විශේෂඥ දැනුම හුවමාරු කර ගැනීමේ අංශයක් ලෙස ද හඳුනා ගන්නා ලදි.

ජාත්‍යන්තර සිසුන්ට ශ්‍රී ලංකාවේ දී ඕස්ට්‍රේලියානු සුදුසුකම් ලබා ගත හැකි අධ්‍යාපන මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ඒකාබද්ධ ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා ඕස්ට්‍රේලියාවේ පවතින උනන්දුව පිළිබඳව මහ කොමසාරිස් හොලි මැතිතුමා සහතික විය. දෙරට අතර අධ්‍යාපන සහයෝගීතාව සහ දැනට පවතින කොවිඩ් -19 ආශ්‍රිත සංචාරක සීමාවන් හේතුවෙන් උසස් අධ්‍යාපනය සඳහා බලපෑම් ඇති වූ ජාත්‍යන්තර සිසුන්ට නැවත ඕස්ට්‍රේලියාවට නැවත පැමිණීම සඳහා අවසර දීමට ඕස්ට්‍රේලියානු රජය දරන ප්‍රයත්නය සාදරයෙන් පිළිගන්නා අතර, ශ්‍රී ලාංකික සිසුන්ට ඕස්ට්‍රේලියාවට යෑම සඳහා ඉක්මනින් පහසුකම් සැලසීම පිළිබඳව සලකා බලන ලෙස විදේශ අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා ඉල්ලා සිටියේය.

විදේශ අමාත්‍යාංශය

කොළඹ

2021 ජූලි 14 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close