ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය චෙල්සී රාජකීය රෝහලේ දී ලංකා තේ රස බැලීමේ සැසියක් සංවිධානය කරයි

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය චෙල්සී රාජකීය රෝහලේ දී ලංකා තේ රස බැලීමේ සැසියක් සංවිධානය කරයි

බ්‍රිතාන්‍ය හමුදාවේ කීර්තිමත් ප්‍රවීණයන් විසින් ඉටු කරන ලද සේවය අගය කිරීම සඳහා සුහදත්වයේ සංකේතයක් වශයෙන්, ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් ලංකා තේ රස බැලීමේ සැසියක් 2021 සැප්තැම්බර් 30 වැනි දින චෙල්සි රාජකීය රෝහලේ දී සංවිධානය කෙරිණි. මෙම වැඩසටහන එක්සත් රාජධානිය සමඟ පවත්වන දිගු කාලීන ද්විපාර්ශ්වික සබඳතා සඳහා ශ්‍රී ලංකාව දක්වන්නාවූ කැපවීම පළ කරන සංකේතයකි.

මෙම තේ රස බැලීම පවත්වනු ලැබුවේ මීට පෙර ශ්‍රී ලංකාවේ තේ රස පරීක්ෂකවරයකු ලෙස සේවය කළ, වර්තමානයේ දී ජාත්‍යන්තර තේ කමිටුව සමඟ කටයුතු කරන මනුජ පීරිස් මහතා විසිනි. සහභාගී වූ පිරිස  ශ්‍රී ලංකාවේ වන නුවරඑළිය, උඩ පුස්සැල්ලාව, දිඹුල, ඌව, මහනුවර, සබරගමුව සහ රුහුණ යන ප්‍රදේශ හතෙහි ලංකා තේ වර්ගවල අද්විතීය රස, සුවඳ සහ ස්වභාවය ගවේෂණය කළහ. තවද, ඔවුහු සිය  රුචිකත්වය අනුව නැවුම් තේ කෝප්පයක රස බැලූ හ.

මෙම උත්සවය අතරතුර දී, ශ්‍රී ලංකාව මීළඟ නිවාඩු ගමනාන්තය ලෙස ප්‍රක්ෂේපණය කෙරුණු අතර එමඟින් සංචාරකයන් සඳහා පිරිනැමෙන විශේෂාංග පරාසය ද විදහා දැක්විණි. සහභාගී වූ පිරිසට ලංකා තේ පැකට්ටු, තේ මුහුණු ආවරණ සහ සංචාරක සමරු තිළිණ ප්‍රදානය කෙරිණි.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් සරෝජා සිරිසේන මැතිනිය සහ මහ කොමසාරිස් කාර්යාලයේ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් රෝහලේ සංචාරයක නිරත වූ අතර, ජෝන් බර්න් සහ ජිම් ලිට්ල් යන ප්‍රවීණයෝ රෝහලේ ඓතිහාසික වැදගත්කම පිළිබඳව ඔවුන්ට විස්තර කර දුන්හ.

තේ පානය බ්‍රිතාන්‍ය හමුදාව තුළ දීර්ඝ කාලයක් මුළුල්ලේ පැවති සම්ප්‍රදායක් වන අතර, 1815 වර්ෂයේ වෝටර්ලූ සටන පැවති දින උදෑසන දී සොල්දාදුවන් අතර තේ පානය නොමසුරු ලෙස බෙදා හරින ලද බව වාර්තා වී ඇත.  1942 වර්ෂයේ දී බ්‍රිතාන්‍ය රජය විසින් වෙළඳපොල තිබූ තේ සියල්ලම මිලදී ගනු ලැබීමෙන් පසුව, තේ පානය නිල සම්ප්‍රදායක් බවට පත් කෙරිණි. ශ්‍රී ලංකාවෙන්, ඇසෑම් ප්‍රාන්තයෙන් හා අප්‍රිකාවෙන් එන තද කහට සහිත කළු තේ බ්‍රිතාන්‍ය රජය සිය හමුදාව සඳහා මිලදී ගත්තේය.

වර්ෂ 1692 දී පිහිටුවන ලද චෙල්සී රාජකීය රෝහල කොරියාවේ, ෆෝක්ලන්ඩ් දූපත්වල, සයිප්‍රසයේ, උතුරු අයර්ලන්තයේ සහ දෙවැනි ලෝක යුද සමයේ සේවයේ නිරතවූවන් ඇතුළුව බ්‍රිතාන්‍ය හමුදාවේ ප්‍රවීණයන් 300 දෙනෙකු පමණ සඳහා වෙන්වූ විශ්‍රාම හා සාත්තු සේවා නිවාසයකි.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

ලන්ඩන්

2021 ඔක්තෝබර් 12 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close