ශ්‍රී ලංකා දූත මණ්ඩල සංචාරක කර්මාන්තය ප්‍රවර්ධන කිරීම කඩිනම් කිරීමට සැරසෙයි

 ශ්‍රී ලංකා දූත මණ්ඩල සංචාරක කර්මාන්තය ප්‍රවර්ධන කිරීම කඩිනම් කිරීමට සැරසෙයි

විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල සහ දූත කාර්යාලවල සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීම කඩිනම් කිරීමේ අරමුණින්, විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්  මැතිතුමා, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මැතිතුමා සහ කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා යනාදීහු 2021 දෙසැම්බර් 01 වැනි දින විදේශ අමාත්‍යංශයේ දී ශ්‍රී ලංකා දූත මණ්ඩල සහ දූත කාර්යාලවල ප්‍රධානීන් ඇමතූහ. ශ්‍රී ලංකා සංචාරක කටයුතු ආයතනයේ  සභාපතිනි කිමාර්ලි ප්‍රනාන්දු මහත්මිය, ශ්‍රී ලංකාව තුළ පුළුල් පරාසයකින් දැකගත හැකි සංචාරක ආකර්ෂණ ස්ථාන සහ ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව ඉහළ නැංවීමේ ඉදිරි ගමන පිළිබඳව සවිස්තරාත්මක ඉදිරිපත් කිරීමක් සිදු කළා ය.

ලෝකයේ විවිධ රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල සහ දූත කාර්යාල 66 හරහා සෞඛ්‍ය, ආගම, ආහාර, පරිසරය, ක්‍රීඩා, චිත්‍රපට සහ සංගීතය ඇතුළු අංශ කිහිපයක් කෙන්ද්‍ර කොට ගත් සංචාරක ක්ෂේත්‍ර ප්‍රබල ලෙස ප්‍රවර්ධනය කිරීමටත්, එහි ප්‍රගතිය මාසිකව සමාලෝචනය කිරීමටත් මෙහිදී තීරණය කෙරිණි. විදේශ අමාත්‍යංශයේ, සංචාරක අමාත්‍යංශයේ සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම හමුවට පුද්ගලික වශයෙන් සහභාගි වූ අතර, ශ්‍රී ලංකා දූත මණ්ඩල  සහ දූත කාර්යාලවල ප්‍රධානීහු ඊට අතථ්‍ය අයුරින් සහභාගී වූහ.

විදේශ අමාත්‍යාංශය

කොළඹ

2021 දෙසැම්බර් 02 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close