ශ්‍රී ලංකා - එක්සත් ජනපද හවුල්කාරිත්ව සංවාදයේ සිව්වැනි සැසිවාරය

ශ්‍රී ලංකා – එක්සත් ජනපද හවුල්කාරිත්ව සංවාදයේ සිව්වැනි සැසිවාරය

2022 මාර්තු 23 වැනි දින කොළඹ දී පැවති සිව්වැනි ශ්‍රී ලංකා - එක්සත් ජනපද හවුල්කාරිත්ව සංවාදය නිමිත්තෙන් පහත ප්‍රකාශය ශ්‍රී ලංකා සහ ඇමරිකා එක්සත් ජනපද රජයන් විසින් නිකුත් කරනු ලැබේ.

 පාඨයේ ආරම්භය:

ආර්ථික සමෘද්ධිය, තිරසාර සංවර්ධනය, ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ නීතියේ ආධිපත්‍යය සඳහා වන ඔවුන්ගේ හවුල් කැපවීම අලුත් කරමින් ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය විසින් 2022 මාර්තු 23 වැනි දින ශ්‍රී ලංකාවේ කොළඹ දී සිව්වැනි ශ්‍රී ලංකා - එක්සත් ජනපද හවුල්කාරිත්ව සංවාදය කැඳවන ලදී. ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා සහ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ උප ලේකම් වික්ටෝරියා නුලන්ඩ් මැතිනියගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.

සමාන ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් ලෙස බෙදාහදාගත් අගයන් තුළ ස්ථිරව මුල් බැසගත් ද්විපාර්ශ්වික සබඳතාව සඳහා වූ ඔවුන්ගේ කැපවීම සහ හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා එක්ව ක්‍රියා කිරීමේ ඔවුන්ගේ අභිප්‍රාය නියෝජිත කණ්ඩායම් දෙකම යළි තහවුරු කළහ.

පසුගිය වසරේ දී කොවිඩ්-19 වසංගතයට පිළියම් යෙදීම සඳහා COVAX සමඟ එක්ව එන්නත් මිලියන 3.4 ක් සහ ඩොලර් මිලියන 18 කට අධික සෞඛ්‍ය උපකරණ සහ වෙනත් සහන ලබා දීම පිළිබඳව ශ්‍රී ලංකාව සිය හෘදයංගම කෘතඥතාව එක්සත් ජනපදය වෙත පළ කළේය.

එක්සත් ජනපදය දැනටමත් ශ්‍රී ලංකා අපනයන සඳහා විශාලතම වෙළඳපොළ ලෙස පවතින බව පිළිගනිමින්, වෙළඳපල ප්‍රවේශය, ද්විපාර්ශ්වික වෙළඳාම, ආයෝජන සහ සංචාරක ව්‍යාපාරය වැඩිදියුණු කිරීම සඳහා නව අවස්ථා ගවේෂණය කිරීම සඳහා වූ ඔවුන්ගේ අභිප්‍රාය නියෝජිත කණ්ඩායම් දෙකම යළි අවධාරණය කළහ. කාන්තාවන්ගේ ආර්ථික සවිබල ගැන්වීමේ අවස්ථා වැඩි දියුණු කිරීම සඳහා සිය කැපවීම එක්සත් ජනපදය ප්‍රකාශ කළේය. ඒ සඳහා, ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට, විශේෂයෙන් කාන්තාවන් සතු ව්‍යාපාරවලට ආධාර කිරීම සඳහා සැලසුම් කොට ඇති ණය සඳහා ඩොලර් මිලියන 265 ක් දක්වා සිය ණය කළඹ ඉහළ නංවා ඇති එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාවේ (DFC) භූමිකාව ශ්‍රී ලංකාව සාදරයෙන් පිළිගත්තේය. විශේෂයෙන්ම කාන්තා ව්‍යවසායකයින් ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකාවේ පළමු ව්‍යාපාරික වේගවත් කිරීම දියත් කිරීම සඳහා එක්සත් ජනපද විසින් අරමුදල් සැපයීම ද ශ්‍රී ලංකාව අගය කළේය.

දේශගුණික විපර්යාස සහ අනෙකුත් පාරිසරික අභියෝගවලට මුහුණ දීම සඳහා එක්ව කටයුතු කිරීමට දෙරටම කැපවී සිටිති. 2030 වසර වන විට විදුලි බලයෙන් සියයට 70ක් පුනර්ජනනීය බලශක්තියෙන් නිපදවීම සහ 2050 වන විට කාබන් මධ්‍යස්ථභාවය ලබා ගැනීම සඳහා වූ ශ්‍රී ලංකාවේ ඉලක්කය එක්සත් ජනපදය සාදරයෙන් පිළිගත්තේය. වසර පහක ඩොලර් මිලියන 19 ක ශ්‍රී ලංකා බලශක්ති වැඩසටහනක් සහ පාවෙන සූර්ය බලාගාරයක් සඳහා ලබා දෙන සහයෝගය ඇතුළුව මෙම ඉලක්ක සපුරා ගැනීම සඳහා දැනට ක්‍රියාත්මක එක්සත් ජනපදයේ ප්‍රදාන ආධාර ඇගයීමමෙන් යුතුව සඳහන් කරන ලදී.

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය හරහා ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනය සඳහා අඛණ්ඩව සහාය දැක්වීමේ අභිප්‍රාය එක්සත් ජනපදය දන්වා සිටියේය. ශ්‍රී ලංකා රජය සමඟ සාකච්ඡා කොට ශ්‍රී ලාංකික දරුවන් අතර පාසල් පෝෂණය සහ සාක්ෂරතාව ප්‍රවර්ධනය කිරීම සඳහා වන සිය කැපවීම එක්සත් ජනපද නියෝජිත පිරිස යළි තහවුරු කළහ. ප්‍රාථමික ශ්‍රේණිවල සිසුන් 106,000 කට වැඩි පිරිසක් සඳහා ප්‍රතිලාභ ලබා දෙමින් 2021 දී දරුවන් සුරකින්න වැඩසටහන (Save the Children) විසින් පවත්වන ලද සාර්ථක පෝෂණ ව්‍යාපාරය ශ්‍රී ලංකාව අගය කළේය.

ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය සමුද්‍රීය ආරක්‍ෂාව පිළිබඳ සහයෝගිතාව අඛණ්ඩව පවත්වාගෙන යාමට සහ නීතිරීති මත පදනම් වූ ජාත්‍යන්තර අනුපිළිවෙල හරහා ඉන්දියන් සාගරයේ ආරක්‍ෂිත සමුද්‍ර වසමක් සහතික කිරීම සඳහා එක්ව කටයුතු කිරීමට තීරණය කළහ. මෙම සන්දර්භය තුළ, නාවික ගමනාගමනය සහ උඩින් පියාසර කිරීමේ නිදහස ප්‍රවර්ධනය කරන නිදහස්, විවෘත සහ සමෘද්ධිමත් ඉන්දු පැසිෆික් කලාපයක් සඳහා වන එක්සත් ජනපද උපායමාර්ගය වැදගත් මුලපිරීමක් ලෙස සටහන් විය.

එක්සත් ජනපදයේ අතිරික්ත ආරක්ෂක භාණ්ඩ වැඩසටහන හරහා මාරු කරන ලද තුන්වැනි අධි සංස්ථිතියෙන් යුත් එක්සත් ජනපද වෙරළාරක්ෂක කටර් යාත්‍රාවල අපේක්ෂිත පැමිණීම ශ්‍රී ලංකාව පිළිගත්තේය. ශ්‍රී ලංකාවේ සමුද්‍රීය නිරීක්ෂණ ධාරිතාව ශක්තිමත් කිරීමට සහ මානුෂීය සහ පශ්චාත් ආපදා අවශ්‍යතාවලට ප්‍රතිචාර දැක්වීම පිණිස මෑතක දී ප්‍රකාශයට පත් කරන ලද King Air වැඩසටහන එක්සත් ජනපදය විසින් සඳහන් කරන ලදී. ජාවාරම් සහ වෙනත් නීතිවිරෝධී ක්‍රියාකාරකම් වැළැක්වීම සඳහා එක්සත් ජනපදය විසින් ලබා දෙන සහාය ශ්‍රී ලංකාව පිළිගත්තේය.

මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීම සහ ආපදා සහන සඳහා එක්සත් ජනපදයේ සහාය, ඒකාබද්ධ හමුදා කටයුතු, ශ්‍රී ලංකා නිලධාරීන් සඳහා මානව හිමිකම් පුහුණුව සහ එක්සත් ජනපද නැව් සහ හමුදා නිලධාරීන් ඇතුළු සංචාර හුවමාරු කර ගැනීම ඇතුළුව දැනට පවතින ද්විපාර්ශ්වික ආරක්ෂක අංශ සහයෝගීතාව නියෝජිත කණ්ඩායම් දෙක විසින් පිළිගනු ලැබීය. ශ්‍රී ලංකාව සමඟ පවතින ත්‍රස්ත විරෝධී සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමේ අවස්ථා පිළිබඳව ගවේෂණය කිරීමට එක්සත් ජනපදය තීරණය කළේය.

සංවර්ධනය සහ සෞභාග්‍යය උදෙසා ප්‍රතිසන්ධානය සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව විසින් ගෙන ඇති ක්‍රියාමාර්ගය පිළිබඳව එක්සත් ජනපදය සිය ප්‍රසාදය පළ කළේය. සංහිඳියාව, මානව හිමිකම් ප්‍රවර්ධනය සහ ආරක්ෂා කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදය, ප්‍රජාතන්ත්‍රවාදී ආයතන සහ භාවිතයන්, යහපාලනය, යුක්තිය සහ නීතියේ ආධිපත්‍යය ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් සිය ප්‍රගතිය ශ්‍රී ලංකාව ගෙනහැර දැක්වීය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) ප්‍රතිසංස්කරණය කිරීමේ ප්‍රයත්න, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දිගුකාලීනව රඳවා සිටි අයවලුන් නිදහස් කිරීම, යුක්තිය ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය සහ සිවිල් සමාජ නියෝජිතයන් සමඟ සම්බන්ධ වීම ඇතුළුව මෙම ක්ෂේත්‍රවල ප්‍රගතිය එක්සත් ජනපදය පිළිගත්තේය. සංහිඳියාව සහ මානව හිමිකම් සඳහා වන කැපවීම් පිළිබඳ ප්‍රගතිය අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස එක්සත් ජනපදය ශ්‍රී ලංකාව දිරිමත් කළේය.

දෙරට අතර අධ්‍යාපනික හා සංස්කෘතික ක්ෂේත්‍රයේ පවතින සහයෝගීතාව සඳහා දෙපාර්ශ්වයම දැඩි සහයෝගය පළ කළහ. එක්සත් ජනපද-ශ්‍රී ලංකා ෆුල්බ්‍රයිට් වැඩසටහනේ 70 වැනි සංවත්සරය සහ ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා එහි දායකත්වය ඉස්මතු කරමින්, අධ්‍යාපනික හුවමාරුවල පවතින වටිනාකම පිළිබඳව එක්සත් ජනපදය අවධාරණය කළේය. දෙරටටම ප්‍රයෝජනවත් වන පරිදි ශ්‍රී ලාංකික සිසුන් සඳහා විශ්වවිද්‍යාල සහයෝගිතා සහ විදේශ අධ්‍යාපනය සඳහා පවතින අවස්ථා තවදුරටත් පුළුල් කිරීම පිණිස එක්ව කටයුතු කිරීමට එක්සත් ජනපදය සිය කැමැත්ත පළ කළේය. පසුගිය වසර 17 තුළ දී, එක්සත් ජනපදයෙන් ලැබුණු සංස්කෘතික උරුම අරමුදල් හරහා ශ්‍රී ලංකාවේ පොහොසත් සංස්කෘතික උරුමයන් සුරැකීමට සහ සැමරීම සඳහා දරන ප්‍රයත්න නියෝජිත කණ්ඩායම් දෙකම විසින් පිළිගනු ලැබීය. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍ෂේත්‍රය ශක්තිමත් කිරීම සඳහා ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම, ගුරු පුහුණුව, විෂයමාලා සංවර්ධනය සහ අනෙකුත් සහයෝගය ලබා දීම සඳහා අඛණ්ඩව සහයෝගීතාවයෙන් කටයුතු කිරීමට නියෝජිත පිරිස් තීරණය කළහ.

ද්විපාර්ශ්වික සබඳතාවයේ වැදගත්කම පිළිබඳව ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අවධාරණය කළ අතර, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීම පිණිස පුළුල් පරාසයක සහයෝගිතාව අඛණ්ඩව පවත්වාගෙන යාමට තීරණය කළහ.

පාඨයේ අවසානය.

Print Friendly, PDF & Email
Please follow and like us:

Close