ශ්‍රී ලංකා ආරක්ෂක නියෝජිත පිරිස රුසියානු සමූහාණ්ඩුවේ නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය කර්නල් ජනරාල් ඇලෙක්සැන්ඩර් ෆෝමින් මහතා හමුවෙයි

ශ්‍රී ලංකා ආරක්ෂක නියෝජිත පිරිස රුසියානු සමූහාණ්ඩුවේ නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය කර්නල් ජනරාල් ඇලෙක්සැන්ඩර් ෆෝමින් මහතා හමුවෙයි

යුද හමුදාව-2021 ජාත්‍යන්තර හමුදා-තාක්‍ෂණික සංසදයට සහ ජාත්‍යන්තර යුද ක්‍රීඩා-2021 සඳහා සහභාගී වීම පිණිස ආරක්‍ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා ආරක්‍ෂක අමාත්‍යාංශයේ දූත පිරිස නිරත වූ සංචාරය අතරතුර දී, රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය කර්නල් ජෙනරාල් ඇලෙක්සැන්ඩර් ෆොමින් මැතිතුමා මොස්කව්හි ජාත්‍යන්තර මිලිටරි සහයෝගීතාව සඳහා වන ප්‍රධාන අධ්‍යක්ෂ කාර්යාලයේ දී හමුවිය.

මෙම හමුවේ දී, හමුදා පුහුණුව, ජාත්‍යන්තර හමුදා අභ්‍යාසවලට සහභාගී වීම සහ දෙරටේම භූමිවල පැවැත්වෙන සිදුවීම්, අත්දැකීම් හුවමාරු කර ගැනීම සහ රුසියානු සහ ශ්‍රී ලංකා ආරක්ෂක අධ්‍යයන ආයතන අතර සහයෝගීතාව හා සමීප සබඳතා ප්‍රවර්ධනය කිරීම සම්බන්ධ කරුණු කෙරෙහි අවධානය යොමු කරමින්, හමුදාමය හා හමුදා-තාක්‍ෂණික ක්ෂේත්‍රවල ශ්‍රී ලංකාව සහ රුසියාව අතර පවතින සහයෝගීතාවයේ අඛණ්ඩ ප්‍රගතිය පිළිබඳව පාර්ශ්ව සාකච්ඡා කළහ.

දෙරටේ ජනතාව සහ රජයන් අතර පැවති දිගුකාලීන මිත්‍රත්වය පිළිබඳව සඳහන් කරමින් සහ ඉතිහාසයේ දුෂ්කර කාලවල දී ශ්‍රී ලංකාවට අඛණ්ඩව ලබා දුන් සහයෝගය වෙනුවෙන් රුසියානු ජාතියට ආචාර කරමින්, යුද හමුදාව-2021 සහ ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා-2021 සංසදය සඳහා සහභාගී වන ලෙස තමා ඇතුළු දූත පිරිසට කළ ආරාධනාව පිළිබඳව ආරක්ෂක ලේකම්වරයා රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයට ස්තූති කළේය. එම සංසදයේ පැවති උසස් ප්‍රමිතීන්, රුසියානු ආයුධ හා සන්නාහ ප්‍රදර්ශනය කිරීම සහ ක්‍රීඩා උළෙලේ දී පැවති මිත්‍රශීලී වාතාවරණය ඔහු පිළිගත්තේය. ලබන වසරේ දී වැඩිපුර පිරිස් සංඛ්‍යාවක් සහ අංග ගණනක් මේ සඳහා සහභාගී වන බව ඔහු තවදුරටත් සහතික කළේය.

මෙම හමුව ඉතා මිත්‍රශීලී වාතාවරණයක පැවති අතර, එමඟින් දෙරටේ හමුදා අතර පවත්නා මිත්‍රත්වය ශක්තිමත් විය. අවසානයේ දී, ඔව්හු සාම්ප්‍රදායික ලෙස සමරු තිළිණ හා ත්‍යාග හුවමාරු කර ගත්හ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

මොස්කව්

2021 අගෝස්තු 31 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close