ශ්‍රී ලංකාව හා වියට්නාමය සිය විධිමත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 50 වැනි සංවත්සරය සමරයි

ශ්‍රී ලංකාව හා වියට්නාමය සිය විධිමත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 50 වැනි සංවත්සරය සමරයි

Picture

වර්ෂ 2020 ජූලි මස 21 වැනි දා වන මෙදින, ශ්‍රී ලංකාව හා වියට්නාමය සිය රාජ්‍යයන් අතර විධිමත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 50 වැනි සංවත්සරය සමරති. මෙම සබඳතා නිල වශයෙන් ආරම්භ කරන ලද්දේ 1970 වසරේ දී වුව ද, ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර මුල්බැසගත් සබඳතා සියවස් ගණනාවක් පුරා විහිදී යයි.

විශේෂයෙන්ම, මෙම කාලය තුළ දී, නූතන වියට්නාමයේ නිර්මාතෘ දිවංගත ජනාධිපති හෝ චි මිං මැතිතුමා, 1911, 1928 හා 1946 වසරවල දී යුරෝපය කරා යන ගමනේ දී ශ්‍රී ලංකාවේ සංචාරය කළේය. ප්‍රංශය හා එක්සත් ජනපදය විසින් යටත් කර  ගනු ලැබීමට එරෙහිව ගෙන ගිය සටනේ දී ස්ථීර මිතුරෙකු ලෙස කටයුතු කරමින් වියට්නාමයට පළමුවෙන්ම සහයෝගය දුන් රටක් බවට පත් වූ ජාතියක් ලෙස එහිදී ජනාධිපති හෝ චි මිං මැතිතුමන්ව සාදරයෙන් පිළිගන්නා ලදී.

ද්විපාර්ශ්වික, කලාපීය හා බහුපාර්ශ්වික රාජ්‍යතාන්ත්‍රික කටයුතුවල දී, ශ්‍රී ලංකාව හා වියට්නාමය එක්ව සමාන මිත්‍රශීලී සබඳතා පවත්වති. දෙරට අතර සහයෝගීතාවය දේශපාලනය, වෙළඳාම, ආයෝජන සහ ආර්ථිකය, ආරක්ෂක, සංස්කෘතිය, අධ්‍යාපනය, සංචාරක, කෘෂිකාර්මික යනාදී පුළුල් ක්ෂේත්‍රයන් දක්වා විහිදේ. ඊට අමතරව, ශ්‍රී ලංකා-වියට්නාම පාර්ලිමේන්තු මිත්‍රත්ව කණ්ඩායම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සහ වියට්නාමයේ ජාතික සභාව අතර සමීප සුහද සබඳතා පවත්වාගෙන යයි. මෙම ශක්තිමත් සබඳතාවය දෙරටේ නායකයින් විසින් නියැලෙනු ලබන ඉහළ මට්ටමේ සංචාර තුළින් ද සංකේතවත් කෙරේ.

තවද, ශ්‍රී ලංකාව සහ වියට්නාමය, දෙරට අතර සමීප වෙළඳ සබඳතාවයන් පවත්වා ගනිමින් කටයුතු කරයි. 2019 දී දෙරට අතර සමස්ත වෙළඳ පිරිවැටුම ඇ. ඩො. මිලියන 381 ක් වූ අතර, එහි දී ශ්‍රී ලංකාව වියට්නාමයෙන් ඇ. ඩො. මිලියන 302 ක් වටිනා භාණ්ඩ/සේවා ආනයනය කරමින්, ඇ. ඩො. මිලියන 79 ක් වටිනා භාණ්ඩ/සේවා වියට්නාමයට අපනයනය කළේය.

ආයෝජනය සම්බන්ධයෙන්, ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික ඇඟලුම් කර්මාන්ත සමාගම් වන හයිඩ්‍රාමනී සමූහය සහ මාස් හෝල්ඩින්ග්ස් විසින් හැනොයි, හෝ චි මිං නගරය, ඩා නන්ග් ආදී ස්ථානවල සිය කර්මාන්තශාලා පිහිටුවා ඇත. මෙම කර්මාන්තශාලාවල වියට්නාම් ජාතිකයින් 10,000 කට අධික සංඛ්‍යාවක් සේවයෙහි යොදවා සිටිති. ශ්‍රී ලාංකික රූපලාවණ්‍ය හා සුවඳ විලවුන් නිෂ්පාදක නේචර්ස් සීක්‍රට් සමාගම ද තම ව්‍යාපාර කටයුතු වියට්නාමයේ ආරම්භ කර ඇත.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙම වැදගත් සන්ධිස්ථානය සම්බන්ධයෙන්  වියට්නාම් කොම්යුනිස්ට් පක්ෂයේ මහ ලේකම් සහ වියට්නාම් සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති නුයෙන් ෆු චංග් මැතිතුමා වෙත සිය උණුසුම් සුබපැතුම් හා උපහාර පුදමින් අන්‍යෝන්‍ය විශ්වාසය, දෙරට අතර පවත්නා සමීප මිත්‍රත්වය සහ අන්‍යෝන්‍ය ගෞරවය පදනම් කොටගත් සබඳතා පිළිබඳ සාරවත් ඉතිහාසය සිහිපත් කළේය. 2020 වසර සඳහා ආසියාන් සංවිධානයේ මුලසුන දැරීම තුළින් ලබා දුන් නායකත්වය පිළිබඳව මෙන්ම, 2020-21 කාලසීමාව සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය නොවන සාමාජිකත්වය හා වියට්නාම ජාතිය තුළ කොවිඩ්-19 වසංගත තත්ත්වය ඉතා සාර්ථක ලෙස පාලනය කිරීම සම්බන්ධයෙන් ද ජනාධිපති රාජපක්ෂ මැතිතුමා වියට්නාමය වෙත සිය සුබපැතුම් පිරිනැමීය.

ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, වියට්නාම් සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය නුයෙන් සුන් ෆුක් මැතිතුමා වෙත සිය සුබ පැතුම් පිරිනමමින්, පරම්පරා ගණනාවක නායකයින් සහ ජනතාව හරහා දෙරට අතර පවතින පොදු සාරධර්ම, ගැඹුරු අවබෝධය සහ අඛණ්ඩ අන්‍යෝන්‍යය සහයෝගීතාවය සිහිපත් කළේය. පසුගිය වසර 90 ක කාලය තුළ දී වියෙට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ සහ එහි නායකත්වයේ මඟ පෙන්වීම යටතේ වියට්නාමය ලබාගත් විශිෂ්ට ජයග්‍රහණ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රාජපක්ෂ මැතිතුමා තවදුරටත් සුබ පැතුම් එක් කළේය.

මෙම වැදගත් සන්ධිස්ථානය පිළිබඳව ගරු විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ද  වියට්නාමයේ ගරු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හා  විදේශ කටයුතු අමාත්‍යය ෆාම් බින් මිං මහතා වෙත සුබ පැතුම් පිරි නැමීය. කලාපීය හා බහුපාර්ශ්වික රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වලදී වියට්නාමයේ ඵලදායී දායකත්වය අගය කරමින් අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා පසුගිය වසර 50 තුළ දී දෙරට ලබාගත් විශිෂ්ට ජයග්‍රහණ පිළිබඳව සිහිපත් කළේය. දෙරට තුළ මෙම වැදගත් සන්ධිස්ථානය සැමරීම කොවිඩ්-19 වසංගත තත්ත්වය විසින් වළක්වා ඇතත්, ඉදිරි වර්ෂයේ දී සුදුසු සැමරුම් උත්සව පැවැත්වීමට සැලසුම් කෙරෙනු ඇතැයි තමා විශ්වාස කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙම සැමරුම් වර්ෂය තුළ දී ශ්‍රී ලංකාවේ සංචාරය කරන ලෙස ශ්‍රී ලංකා නායකයෝ වියට්නාම් නායකයන් වෙත ආරාධනා කළහ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
හැනොයි
2020 ජූලි 21 වැනි දින
Print Friendly, PDF & Email
Please follow and like us:

Close