
ශ්‍රී ලංකාව සහ බ්‍රසීලය අතර ද්විපාර්ශ්වික දේශපාලන උපදේශනවල දෙවන වටය, 2026 මාර්තු 20 වැනි දින, කොළඹ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේදී පැවැත්වුණු අතර, එය දෙරට අතර දිගුකාලීන හා මිත්‍රශීලී සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් සනිටුහන් කළේය. මෙම රැස්වීම සඳහා අමාත්‍යාංශ ලේකම් අරුණි රණරාජා සහ බ්‍රසීලයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආසියා සහ පැසිෆික් ලේකම්, තානාපති සුසන් ක්ලීබෑන්ක් සම-සභාපතිත්වය දැරූහ.
2022 දී පවත්වන ලද ද්විපාර්ශ්වික දේශපාලන උපදේශනවල පළමු වටයෙන් පසු අත්කරගත් ප්‍රගතිය සමාලෝචනය කිරීමට සහ සහයෝගීතාවේ නව ක්ෂේත්‍ර හඳුනා ගැනීමට, මෙම උපදේශන මඟින් අවස්ථාව සැලසුණි.
සාකච්ඡා අතරතුරදී, ආර්ථික සහයෝගීතාවයේ ස්ථාවර වර්ධනය පිළිගන්නා අතරම, 2030 වන විට ද්විපාර්ශ්වික වෙළඳාම ඇමරිකානු ඩොලර් බිලියනයක් දක්වා ඉහළ නැංවීමට දෙපාර්ශ්වය එකඟ විය. පරිණාමය වෙමින් පවතින ගෝලීය ආර්ථික වෙනස්වීම් වලට ප්‍රතිචාර වශයෙන් සම්බන්ධතා පුළුල් කිරීමේ වැදගත්කම ද දෙපාර්ශ්වයම අවධාරණය කළහ.
සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ප්‍රධාන ක්ෂේත්රවල අපේක්ෂිත අවබෝධතා ගිවිසුම් සහ ගිවිසුම් කඩිනමින් අත්සන් කිරීමේ වැදගත්කම හඳුනා ගනිමින්, ආරක්ෂාව, නීතිය ක්‍රියාත්මක කිරීම, මිනිස් ජාවාරම සහ ජාත්‍යන්තර සංවිධානාත්මක අපරාධ මැඩපැවැත්වීම, සාම්ප්‍රදායික සහ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව සහ රාජ්‍යතාන්ත්‍රික පුහුණුව පිළිබඳ ප්‍රධාන නීතිමය මෙවලම් අවසන් කිරීමට ඇති කැපවීම පාර්ශ්වයන් ප්‍රකශ කළහ. තාක්ෂණික සහයෝගීතා රාමුව යටතේ කිරි පශු සම්පත් ව්‍යාපෘතිය සහ උක් ව්‍යාපෘතිය අවසන් කර ඇති බවත්, බ්‍රසීල සහයෝගීතා ඒජන්සියේ (ABC) සහාය ඇතිව නුදුරු අනාගතයේ දී ඒ සම්බන්ධ ගිවිසුම් අත්සන් කිරීමට අපේක්ෂා කිරීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වය සතුට පළ කළහ.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ එළැඹෙන බ්‍රසීල රාජ්‍ය සංචාරය සඳහා වන සූදානම පිළිබඳව ද රැස්වීමේදී සාකච්ඡා කෙරිණි. පාර්ලිමේන්තු රාජ්‍යතාන්ත්‍රිකභාවය වැඩි දියුණු කිරීමේ සහ ව්‍යවස්ථාදායකයන් අතර සමීප සබඳතා වර්ධනය කිරීමේ වැදගත්කම සඳහන් කරමින්, පාර්ලිමේන්තු මිත්‍රත්ව කණ්ඩායම් සහ හුවමාරු නියෝජිත කණ්ඩායම් නැවත පිහිටුවීමට දෙපාර්ශ්වය එකඟ වූහ. මේ සම්බන්ධයෙන්, බ්‍රසීල ව්‍යවස්ථාදායකයේ කාන්තා පාර්ලිමේන්තු කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීම අපේක්ෂා කෙරේ.
කෘෂිකර්මාන්තය, සත්ව පාලනය, කෘෂිකාර්මික පර්යේෂණ, වරාය සහ නැව්ගත කිරීම සහ ක්‍රීඩා ඇතුළු ප්‍රමුඛතා අංශවල සහයෝගීතාව සඳහා නව මාර්ග ද සාකච්ඡාවලදී හඳුනා ගැනිණි. ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික සංසදවල සමීප සහයෝගීතාව අඛණ්ඩව පවත්වාගෙන යාමට දෙපාර්ශ්වයම එකඟ විය.
තානාපති සුසන් ක්ලීබෑන්ක්, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ද හමුවූ අතර, එහිදී දෙපාර්ශ්වයම ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට සහ අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්රවල සහයෝගීතාව පුළුල් කිරීමට දක්වන කැපවීම නැවත තහවුරු කළහ.
දේශපාලන උපදේශන සඳහා සහභාගී වූ නියෝජිත පිරිස අතර, බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපතිනි චමින්දා අයි. කොලොන්නේ, බ්‍රසීල තානාපති කාර්යාලයේ ප්‍රධානී මොනිකා මාරියා මයිරෙල්ස් නසාර්, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ සහ අදාළ රේඛීය ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද වූහ.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ 01
2026 මාර්තු 20 වැනි දින



