ශ්‍රී ලංකාව සඳහා අභිනවයෙන් පත් කළ ඊජිප්තු තානාපතිවරයා විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවෙයි

ශ්‍රී ලංකාව සඳහා අභිනවයෙන් පත් කළ ඊජිප්තු තානාපතිවරයා විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවෙයි

ශ්‍රී ලංකාව සඳහා අභිනවයෙන්  පත් කරන ලද ඊජිප්තු තානාපති මගේඩ් මොස්ලේ මැතිතුමා 2022 මාර්තු 19 වැනි දින කොළඹ පිහිටි විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස් මැතිතුමා හමුවිය.

තානාපති මොස්ලේ මැතිතුමා උණුසුම් ලෙස පිළිගත් අමාත්‍ය පීරිස් මැතිතුමා, එතුමා ශ්‍රී ලංකාවේ සේවයේ නිරත වන කාලය තුළ එතුමා සමඟ සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රකාශ කළේ ය. තවද, සිය අදහස් පළ කළ අමාත්‍ය පීරිස් මැතිතුමා සහ තානාපති මොස්ලේ මැතිතුමා, දෙරට අතර පවත්නා බහුවිධ ද්විපාර්ශ්වික සහයෝගීතාව සම්බන්ධයෙන් පුළුල් සාකච්ඡා පැවැත්වූ අතර, ගෝලීය වශයෙන් වැදගත් වන සමකාලීන ගැටළු පිළිබඳව ද සිය අදහස් හුවමාරු කර ගත්හ. ප්‍රතිසන්ධානය සහ මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ලබා ඇති ප්‍රගතිය පිළිබඳව ද අමාත්‍ය පීරිස් මැතිතුමා ඊජිප්තු තානාපතිවරයා දැනුම්වත් කළේ ය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පැවති අන්තර් ක්‍රියාකාරී සංවාදයේ දී ශ්‍රී ලංකාවට සහය දැක්වීම සඳහා ඊජිප්තු ජනරජය මැදිහත් වීම සම්බන්ධයෙන් අමාත්‍ය පීරිස් මැතිතුමා ඊජිප්තු තානාපතිවරයා වෙත සිය ගැඹුරු ප්‍රසාදය පළ කළේ ය. බහුපාර්ශ්වික සංසද හමුවේ දෙරට අතර පවත්නා ද්විපාර්ශ්වික සහයෝගීතාව එතුමාගේ ඇගයීමට ලක් විය. 51 වැනි සැසිවාරය සඳහා ශ්‍රී ලංකාව තුළ ඇති සූදානම පිළිබඳව ද අමාත්‍යවරයා මෙහිදී සාකච්ඡා කළේ ය.

මානව හිමිකම් ප්‍රවර්ධනය සහ ආරක්ෂා කිරීම සඳහා සහයෝගීශීලී සහ සංවාදශීලී අරමුණු පෙරදැරිව එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සම්බන්ධ වීමේ දිගුකාලීන ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාව අඛණ්ඩව පවත්වාගෙන යන බවද විදේශ කටයුතු අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය. තවද, ශ්‍රී ලංකාව සිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කොට ඇති මානව හිමිකම් හා සබැඳි බැඳීම් අනුව කටයුතු කරන බවත්, ශ්‍රී ලංකාව ස්වේච්ඡාවෙන් භාරගෙන ඇති ජාත්‍යන්තර බැඳීම්වලට අවනත වන බවත් සඳහන් කළේ ය.

විශේෂයෙන්ම, මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසියේ දී ඊජිප්තුවේ සහයෝගය ශ්‍රී ලංකාව වෙත අඛණ්ඩව ලබා දෙන ලෙස අමාත්‍ය පීරිස් මැතිතුමා තානාපතිවරයාගෙන් ඉල්ලා සිටියේ ය. එළැඹෙන 51 වැනි සැසිවාරය ඇතුළුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ඊජිප්තුවේ අඛණ්ඩ සහයෝගය ශ්‍රී ලංකාවට ලබා දෙන බව තානාපති මගේඩ් මොස්ලේ මැතිතුමා තහවුරු කළේ ය.

දෙරට අතර පවත්නා දිගුකාලීන සුහද සබඳතා ඇගයූ දෙපාර්ශ්වය, ශ්‍රී ලංකා - ඊජිප්තු රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවා 65 වසරක් සපිරීම නිමිත්තෙන් 2022 වසර සඳහා යෙදෙන සැමරුම් උත්සව සංවිධානය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කොට එකඟතාවයට පැමිණිය හ.

අපේක්ෂිත ගිවිසුම් සහ අවබෝධතා ගිවිසුම් කඩිනමින් අවසන් කිරීම, අන්තවාදයට එරෙහිව සටන් කිරීම, ඉවසීම සහ අන්‍යෝන්‍ය අවබෝධය ප්‍රවර්ධනය කිරීම, රැඩිකල්කරණය තුරන් කිරීම, ඊජිප්තුවේ කීර්තිමත් සංස්කෘතික හා ආගමික ආයතන හරහා අන්තර් ආගමික සංවාද පැවැත්වීම සහ 2022 වසරේ දී දෙරටෙ හි විදේශ කටයුතු අමාත්‍යාංශ අතර ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන දෙවන සැසිවාරය කොළඹ දී පැවැත්වීම යනාදී කටයුතු පිළිබඳව ද මෙම හමුවේ දී අවධානය යොමු කෙරිණි.

අන්‍යෝන්‍ය උනන්දුවක් සහිත කලාපීය සහ ජාත්‍යන්තර ප්‍රවණතා මෙන්ම, සමාන අදහස් ඇති කලාපීය කඳවුරු සමඟ පවත්නා සම්බන්ධීකරණ කටයුතු ඉහළ නැංවීම  යන කරුණු ද මෙහිදී සැලකිල්ලට ලක් කෙරිණි.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් සහ කොළඹ පිහිටි ඊජිප්තු තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ද මෙම සාකච්ඡාව සඳහා සහභාගී වූහ.

​​විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2022 මාර්තු 21 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close