ශ්‍රී ලංකාව ව්‍යාපාර සඳහා විවෘතයි" - 48 වැනි PCCI පිලිපීන ව්‍යාපාරික සමුළුව සහ ප්‍රදර්ශනයට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික නියෝජිත පිරිසක් පිලිපීනයේ සිදු කළ සංචාරය

ශ්‍රී ලංකාව ව්‍යාපාර සඳහා විවෘතයි” – 48 වැනි PCCI පිලිපීන ව්‍යාපාරික සමුළුව සහ ප්‍රදර්ශනයට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික නියෝජිත පිරිසක් පිලිපීනයේ සිදු කළ සංචාරය

පිලිපීන වාණිජ හා කර්මාන්ත මණ්ඩලය (PCCI) විසින් 2022 ඔක්තෝබර් 18 සිට 20 වැනි දින දක්වා සංවිධානය කරන ලද 48 වැනි පිලිපීන ව්‍යාපාරික සමුළුව සහ ප්‍රදර්ශනයට (PBC&E) සහභාගී වූ තිස් (30) දෙනෙකුගෙන් යුත් ව්‍යාපාරික නියෝජිත පිරිසෙහි සංචාරය සඳහා මැනිලා හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් පහසුකම් සලසන ලදී.

ශ්‍රී ලංකා-පිලිපීන ව්‍යාපාරික කවුන්සිලයේ (SLPBC) සහ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සමාගම් සහ ව්‍යවසායන් නියෝජනය කරන ලාංකික තරුණ ව්‍යවසායකයින්ගේ මණ්ඩලයේ (COYLE) ව්‍යාපාරිකයන් මෙම නියෝජිත පිරිසට ඇතුළත් වූ අතර, එහිදී සැපයුම් අංශය, ඉදිකිරීම් අංශය, ඉංජිනේරු ශිල්පය, ගෘහ නිර්මාණ ශිල්පය, අධ්‍යාපනය, සංචාරක ව්‍යාපාරය, පුනර්ජනනීය බලශක්තිය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, නිෂ්පාදන, ආහාරපාන, ඖෂධ, විලාසිතා, මෝටර් රථ, සිල්ලර වෙළඳාම යන ක්ෂේත්‍ර නියෝජනය කෙරිණි.

මෙම නියෝජිතයින් සහ පිලිපීන මිත්‍ර පාර්ශ්ව අතර පවත්නා සම්බන්ධතා ඉහළ නැංවීමේ සහ දිරිගැන්වීමේ අරමුණින්, තානාපති කාර්යාලය, PCCI සහ පිලිපීන-ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය (PSLBC) විසින් ක්‍රියාකාරකම් කිහිපයක් සංවිධානය කෙරිණි. AGRI හි පක්ෂ ලැයිස්තුවේ කොන්ග්‍රස් සභික විල්බට් ලී සමඟ පැවති හමුවක්, කීර්තිමත් පිලිපීන ව්‍යාපාරිකයන් සමඟ පැවැත්වූ ව්‍යාපාරාන්තර සැසි, පිලිපීන-චීන ව්‍යාපාරික ප්‍රජාව නියෝජනය කරන ප්‍රමුඛතම සංවිධානය වන පිලිපීන චීන වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනයේ සංචාරයක් සහ ජාලකරණ සැසියක් ඇතුළු ක්‍රියාකාරකම් කිහිපයක් මීට ඇතුළත් විය.

දෙරට අතර වෙළෙඳ සහ ආයෝජන කටයුතු ප්‍රවර්ධනය කිරීම සහ පහසුකම් සැලසීම පිළිබඳ සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අරමුණින් SLPBC සහ PSLBC අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම මෙම සංචාරයේ ප්‍රධාන විශේෂත්වයක් විය.

ඩිජිටල්කරණය සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්තය කෙරෙහි අවධානය යොමු කරන ලද සැසියක් අතරතුර, ශ්‍රී ලංකාව සතු ශක්‍යතා සහ දෙරට අතර සහයෝගීතාව පැවැත්වීම සඳහා පවතින විෂය පථය පිළිබඳ ඉදිරිපත් කිරීමක් සිදු කරන ලදී. පිලිපීන ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම ව්‍යවසායන් සඳහා ඊ-වාණිජ්‍ය සහ ඩිජිටල් විසඳුම් ප්‍රවර්ධනය කිරීම සඳහා ඉවහල් වන සහයෝගීතාව පණගැන්වීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ ඊ-වාණිජ්‍ය සේවා සපයන්නෙකු වන Appigo Philippines සහ PCCI අතර අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තබන ලදී.

විශේෂයෙන්ම, ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය සහ පිලිපීන ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය අතර ගවේෂණාත්මක සාකච්ඡාවක් සඳහා තානාපති කාර්යාලය විසින් පහසුකම් සලසන ලදී. ජයග්‍රාහී සහයෝගීතාවක් අරමුණු කරගනිමින් දෙරටේ කර්මාන්ත සම්බන්ධ කිරීම සඳහා ගත් ආරම්භක පියවරක් ලෙස මෙය සැලකිය හැකි ය.

මෙම සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස, ශ්‍රී ලංකාවේ නියෝජිත පිරිසට සිය පිලිපීන මිත්‍ර පාර්ශ්ව හඳුනාගැනීම, සංවාද පැවැත්වීම සහ සන්නිවේදන කටයුතු සක්‍රීය කිරීමට හැකි වන පරිදි, ශ්‍රී ලාංකික කර්මාන්ත නිසි ලෙස විදහා දක්වන ලදී. අපනයන ඇණවුම් ලබාගැනීමට, හවුල්කාරිත්වයන් සහ සම්බන්ධතා ගොඩනඟා ගැනීමට, සහයෝගීතාව මෙන්ම අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක වන ව්‍යාපාරික කටයුතු ස්ථාපිත කිරීමට සමාගම් කිහිපයකට මෙහිදි අවස්ථාව උදාවිය.

පිලිපීනයේ විශාලතම ව්‍යාපාර ආධාරක සංවිධානය වන PCCI විසින් සංවිධානය කරන ලද PBC&E යනු ප්‍රධාන ප්‍රතිපත්තිමය ගැටළු පිළිබඳ සංවාදය ආරම්භ කිරීමට, රාජ්‍ය ප්‍රතිපත්ති සහ ආර්ථික සංවර්ධනය පිළිබඳ වැඩසටහන් යාවත්කාලීන කිරීම යනාදිය සඳහා පිලිපීනයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාර සහ කර්මාන්ත එකම වේදිකාවකට ගෙන එන සුවිශේෂී අවස්ථාවකි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

මැනිලා

2022 ඔක්තෝබර් 28 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close